23 April 2018
RSS Facebook Twitter   

මහින්දව ගේන්නේ මොකටද?

mrසිවිල් සමාජය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ගෙනගිය අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථානුකූල ඒකාධිපතියෙකු බවට පත්වෙමින් සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනවාරි අටවැනිදා පරාජය විය. එහෙත් දැන් නැවතත් රාජපක්ෂ දේශපාලනයේ දෘෂ්ඨිවාදී ඉතුරු බිතුරු මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කළ යුතුයැයි හඬ නඟන්නට පටන්ගෙන තිබේ. මේ එම දේශපාලන ව්‍යාපාරය පිළිබඳව බුද්ධිමතුන් කිහිපදෙනෙකු දැක්වූ අදහස්ය.

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

මහින්ද රාජපක්ෂව බලයට ගේන්න හදන කණ්ඩායමට සම්පූර්ණයෙන්ම සදාචාර විරෝධී අදහස් තියෙන්නේ. බිඳවැටිලා තියෙන නීතිය නැවත පිහිටුවන ආකාරය සාකච්ඡුා කරන අවස්ථාවක මේ ජනතා නියෝජිතයන් නැවත ආපස්සට යන ආකාරය ගැන කතා කරන්නේ. නීතිය ක‍්‍රියාත්මක කරන්න එපා කියලායි ඉල්ලන්නේ.

මේ වෙලාවේ පුරවැසි සමාජය එළියට බහින්න ඕනෑ. ඇත්තටම මේක දීර්ඝ ප‍්‍රශ්නයක කොටසක්. ලංකාවේ දේශපාලන තීරණ 90% කට වඩා ඇති දැඩි වුණේ කළු කර්මාන්තයක් තුළ. අවුරුදු විස්සක් තිහක් තිස්සේ මේක හොඳින් මුල් ඇදලා තියෙනවා. මේ ජනතා නියෝජිතයන් ඇත්තටම ජනතා නියෝජිතයන් නෙමෙයි. ඔවුන් නියෝජනය කරන්නේ එයාලාගේ සමාගම්වල ආයෝජන. මුදල් සහ ¥ෂණය සමග දැඩිව බැඳිලා ගෙවිච්ච ජීවිත අතාරින්න ඔවුන් කැමති නැහැ.

පුරවැසියන් විසින් පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඕනෑ. ඓන්ද්‍රීය ජනතා නියෝජිතයා සොයාගැනීම් අවශ්‍යතාවක් තියෙනවා. ඒකට අවශ්‍ය ව්‍යවස්ථා සම්පාදනය කරගැනීමත් ඊටත් වඩා සමාජ සංස්කෘතික ප‍්‍රතිසංස්කරණ කරගැනීමත් අවශ්‍යයි.

මහින්දව නැවත බලයට ගේන්න උත්සාහ කරන්නේ මේ කළු කර්මාන්තය බිඳෙයි කියලා බයෙන් ඉන්න කණ්ඩායම. තවමත් ඒ කළු කර්මාන්තය වැහිලා ගිහිල්ලා නැහැ. මහින්ද රාජපක්ෂ නැතුව ඒක ගොඩනඟන්න බැරි බව පෙනිලා තියෙනවා.

මහින්දට ඇත්තටම ජනතාවට සේවය කරන අරමුණකින් නැවත එන්න ගත්ත උත්සාහයක් නොවන බව පැහැදිලියි. ඔහුට එහෙම අවශ්‍ය නම් මන්ත‍්‍රීවරයකු විදිහට ඇවිත් රටට සේවය කරන්න පුළුවන් නේ. ඒත් ඔහු උත්සාහ කරන්නේ විශාල බලයක් එක්ක ඉහළම තැනකට පැනගන්න. විමල්ලා කොච්චර කෑගැහුවත් ඒ සහතිකය නැත්නම් මහින්ද එන්නේ නැහැ.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

කිසිම කෙනෙක් දේශපාලනය කරන එකේ ප‍්‍රශ්නයක් නැහැ. මහින්දව නැවත බලයට ගේන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ පිටිපස්සේ තියෙන දේශපාලන න්‍යාය පත‍්‍රය මොකක්ද කියන එකයි වැදගත් වෙන්නේ.
බොහෝ අවස්ථාවල මේ කණ්ඩායම ඉදිරිපත් කරන්නේ පදනම් විරහිත තර්ක, මහින්දව අල්ලස් කොමිසම ඉදිරියට ගෙනියන්න එපා කියන එක වගේ. රටේ දේශපාලන අධිකාරියේ ඉහළම හිටපු කෙනා ගැන අයථා චෝදනා තියෙන අවස්ථාවක ඒවා විමර්ශනය කරන්න එපා කියන එක බරපතළ ප‍්‍රශ්නයක්. එතැනදි විමල් වීරවංශ කියලා තිබුණා තිස්ස අත්තනායකට ඇමතිකම දීම රනිල්ට අගමැතිකම දීම වගේ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි සංසන්දනයක්. තිස්සට ඇමතිධුරය ලබාදීම යම්කිසි අල්ලසක් ලබාදීමක් බව පැහැදිලිව පේනවා. රනිල් වික‍්‍රමසිංහ අගමැති වෙන්නේ පැහැදිලිවම මැතිවරණ වේදිකාවේ පොරොන්දුවකට ලැබුණු ජනතා අනුමැතිය මත. රනිල්ට බහුතරය නෑ කියන එකත් බොරුවක්.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක් අගමැතිවරයාව නම් කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගත හැකි වේ යැයි උපකල්පනය කරන තැනැත්තාව. ඒක වැරදි නම් විශ්වාසභංගයක් මගින් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඒක ඉතාම ලේසියෙන් කරන්න පුළුවන්. ඒත් දැන් මාස තුනක් ගතවෙලාත් එහෙම වෙලා නැහැ. ඉතින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට කියන්න බැහැ ඒ කතාව. නලින් ද සිල්වාත් මේ කතාව කියලා තිබුණා. මේ අය කරන්නේ අවශ්‍ය තර්ක පාවිච්චි කරන එක. මම පෙන්වන්නේ මේ අයගේ දේශපාලන තර්ක පදනම් විරහිත බව.

දේශපාලන පළිගැනීම කරනවා කියලා තමයි පරීක්ෂණ කරද්දී ගේන තර්කය. පසුගිය කාලයේ එක පැත්තකින් ඔවුන් ඇහුවා කෝ පරීක්ෂණ කියලා. අනිත් පැත්තෙන් ක‍්‍රියාමාර්ග ගන්නකොට දේශපාලන පළිගැනීම් කියනවා. ඒකෙන් පේනවා මේගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපාරය පිටිපස්සේ තියෙන දේශපාලන මතය මොකක්ද කියලා.

මීට කලින් දේශපාලන පළිගැනීම්, දූෂණ වංචා ගැන නිහඬව හිටපු අය තමයි මේ හඬ නඟන්නේ. මහබැංකුවේ දූෂණ වංචා ගැන බරපතළ විවේචන ගෙන එන්නේ. මීට කලිනුත් දූෂණ වංචාවලට එරෙහිව හඬ නඟපු දැනටත් ආණ්ඩුවේ ඉඳන් හඬ නඟන අය ඉන්නවා. ඒත් විමල් වීරවංශලා ඒ කාලේ එහෙම කළේ නැහැ. ඇත්තටම මගේ මතය නම් මහබැංකු අධිපතිවරයා විතරක් නෙවෙයි මුදල් ඇමතිවරයාත් ඉල්ලා අස්විය යුතුයි.

ආණ්ඩුව අභ්‍යන්තරයේ ඉඳන් දූෂණ වංචාවලට එරෙහිව හඬ නැඟීම හොඳ ලක්ෂණයක්. ඒක ඉස්සරහට ගෙනියන්න ඕනෑ. එහෙත් මහින්දවාදී කණ්ඩායම උත්සාහ කරන්නේ ඒක ආපස්සට ගෙනියන්න. පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂය නිවැරදි පාලනයක් ගෙනියන්නේ නැහැ. ඔවුන් බලය අපහරණය කරනවා. ඒත් ප‍්‍රශ්නය තියෙන්නේ අපි ඉදිරියට මිසක් නැවත ජනවාරි අටවැනිදාට පෙර තිබුණ තත්ත්වයට යනවාද කියන එක. මේ ව්‍යාපාරය එක්ක ඉන්නේ ගොඩක් මහජන මුදල් අපහරණයට පැහැදිලි සාක්ෂි තියෙන අය. රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු වගේ අය ඉන්නවා. ඒ වගේ ගොඩක් අය මේ කණ්ඩායම සමග ඉන්නේ තමන්ගේ ආරක්ෂාවට. මොකද පරීක්ෂණ කළොත් කියනවා දේශපාලන පළිගැනීම් කියලා.

ඇත්තටම පළිගැනීම් තියෙන්නත් පුළුවන්. විමල් වීරවංශගේ බිරිඳ කූට ලේඛන සැකසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා වගේ. කූට ලේඛන ඕනෑ තරම් හදනවා. ඒත් මේ තැන්වල පැහැදිලිවම වැරැුද්දක් වෙලා තියෙනවා. ඇඟිල්ල දිගු කරලා අහන්න බැහැ හැමෝම කරන වැරැුද්දකට තමන්ට විතරක් දඬුවම් දෙන්නේ ඇයි කියලා. ඕනෑ නම් හැමෝටම දඬුවම් කරන්න කියලා කියන්න පුළුවන්. ඇත්තටම බලන්න ඕනෑ විමල් වීරවංශ කියන්නේ සරත් ෆොන්සේකා, ශිරානි බණ්ඩාරනායක සම්බන්ධ සිදුවීම් සාධාරණීකරණය කරන්න පෙනී හිටපු කෙනෙක්. ඔවුන් දැන් දේශපාලන පළිගැනීම් ගැන කතා කරන්නේ යහපත් චේතනාවකින්ද තියලා බරපතළ ලෙස ප‍්‍රශ්න කරන්න පුළුවන්.
මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කිරීමෙන් පස්සේ ලංකාවේ යම් නිසි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විවෘතභාවයක් ඇති වුණා. විමල් වීරවංශලා කරන්නේ ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටපිටාවම පාව්ච්චි කරලා රට ආපස්සට ගෙනියන්න කරන උත්සාහයක්. මෛත‍්‍රී පාලනය හොඳ වෙන්නේ ඔවුන්ගේ විශේෂ හොඳක් නිසා නෙවෙයි. ඒක ඔවුන් කිසිවක් නොකර සිටීම නිසා ඇතිවුණ තත්ත්වයක්. කිසිවක් නොකර ඉන්න තැනින් හොඳ දේවල් කරන තැනකට මිසක් නරක දේවල් කරන තැනකට යා යුතු නැහැ.

මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටපිටාවෙන් වැඩියම ප‍්‍රයෝජන ගන්නේ මහින්දවාදී කණ්ඩායම. මේ කණ්ඩායම මහින්ද නැවත බලයට ඇවිත් මහජන මුදල් අපහරණය නොකරන බවට දෙන සහතිිකය මොකක්ද? ඔවුන් බලයට එන වැඩපිළිවෙළ මොකක්ද? ඇත්තටම ඔවුන් බලයට එන්නේ සාධක දෙකක් නිසා.

පළවෙනි කාරණය මහින්දව බලයට ගේන්න උත්සාහ කරන කණ්ඩායම දේශපාලනිකව අනාථභාවයට ලක්වීමට නියමිත පිරිසක්. විශේෂයෙන් විමල් වීරවංශ. ඔහු නූගත් පරිණත නොවන දේශපාලනඥයකු නොවන බව මම පිළිගන්නේ නැහැ. ඔහු බුද්ධිමත්, කපටි දේශපාලනඥයෙක්. ඔහු සම්බන්ධයෙන් මට තියෙන්නේ ආචාරධාර්මික ප‍්‍රශ්නයක්. විමල්ගේ දේශපාලනයට පැවැත්මක් නැහැ මහින්දව නොපෙන්නුවොත්, ප‍්‍රධාන දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවුණොත්. ඒ අයට තනිවම ඉඳලා ඡුන්ද ලැබෙන්නේ නැහැ. වික‍්‍රමබාහු කරුණාරත්නලා වගේ. ඔවුන්ගේ දේශපාලනයට වටිනාකමක් තිබුණත් ඡුන්දය ලැබෙන්නේ නැහැ. දිනේෂ්ට සහ වාසුට නම් ශ‍්‍රීලනිප සමග එකතුවෙන්න හරි පුළුවන්. ගම්මන්පිල එක්සත් ජාතික පක්ෂය එක්කත් සම්බන්ධ වුණ කෙනෙක්නේ. විමල්ට තමයි ලොකුම ප‍්‍රශ්නය තියෙන්නේ. ඒත් එහෙම ගියත් මේ කාටත් ලොකු අනන්‍යතා අර්බුදයක් එනවා.


විශේෂයෙන් විමල් වීරවංශට ජාතිකවාදී දේශපාලන ස්ථාවරය තුළ ස්මාර්ට් වෙන්න බැහැ. චම්පික ඊට වඩා ස්මාර්ට්. ඔහු දන්නවා ජාතිකවාදයයි වෙන සංකල්පයි අතරේ එහා මෙහා යන්න. අනිත් පැත්තෙන් විමල් මේ ස්ථාවරයෙන් ඈත්වීම නිසා ඔහුට ශක්තිය සපයන නලින් ද සිල්වා, අමරසේකර වගේ අය ඈත් වෙනවා. මෙන්න මේ දේශපාලන පැවැත්ම ගැන ප‍්‍රශ්නය මහින්දාගමන ව්‍යාපාරයට එන සාධකයක්.

අනෙක් සාධකය අපේ ජනතාව තුළ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් තියෙන ජනප‍්‍රිය ෆැන්ටසිය. ඔවුන් තුළ තිබෙන මහරජා පිළිබඳ අදහස. මේ ෆැන්ටසි රජා මෛත‍්‍රී තුළ නැහැ. රනිල් හෝ චන්ද්‍රිකා තුළත් කොහොමත් නැහැ. ඒකට මහින්ද හොඳටම ගැළපෙනවා. ඇත්තටම මේ ෆැන්ටසිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන වඩාත් හොඳින් කිව්වොත් පූර්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ෆැන්ටසියක්. මේක තමයි මහින්දම ගේන්න ඕනෑ කියලා මහජනතාවට ඒත්තු ගන්වන සාධකය. මගේ අදහස මේ දේශපාලන ව්‍යාපාරය පරාජය කළ යුතුයි.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ

මහින්ද රාජපක්ෂ අගමැති කළ යුතුයි කියන කණ්ඩායම පසුගිය කාලේ රැස්වීම්වල කතා කරපු දේවල් බැලූවාම පැහැදිලිව පේනවා ඔවුන් මේක කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආපස්සට ගෙනියන්න බව. මෙතැනදි ඔවුන් ඉදිරිපත් කරනවා හේතු දෙකක්.

එක පැත්තකින් ඒගොල්ලෝ දානවා පුද්ගල විරාභිවන්දනය, පුද්ගලාභිවන්දනය වගේ සංකල්ප. මහින්දව බලයට ගේන්න මේ වීරත්වය පිළිබඳ සංකල්ප ඉස්සරහට ගේනවා. අනෙක් පැත්තෙන් මේ අය ජනවාරි අටවැනිදා ලබපු දේශපාලනික පරාජය පිළිගන්නේ නැහැ. ඔවුන්ට එය පිළිගැනීමේ හැකියාවක් නැහැ. ඔවුන් පෙන්නනවා ඒ පරාජය පිළිගන්න බැරි දෙයක් විදිහට.

මේගොල්ලන්ගේ දේශපාලන සටන් පාඨ දිහා බැලූවහම මේ වෙද්දී තියෙන පසුගාමීම දේශපාලන බලවේගය ඔවුන් බව පැහැදිලියි. විමල් වීරවංශගේ සිට වාසුදේව නානායක්කාරගේ කතා දක්වා පැහැදිලියි මහින්දව ගේන්නෙ දේශපාලන හේතු නෙවෙයි පුද්ගලික හේතු මත කියලා.

මහින්ද බලයට පැමිණීමම රට ආපස්සට ගෙනියන පසුගාමී පියවරක්. ආර්ථිකය පැත්තෙන් සමාජය පැත්තෙන් පසුබැසීමක් වෙන්නේ. නැවතත් දෘෂ්ඨිවාදය විදිහට සිංහල මහජාතිවාදය ඉස්මතු වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් ආවොත් ඔවුන්ට සිංහල ඡන්ද අපේක්ෂාවෙන් තමයි ඉදිරිපත් වෙන්න වෙන්නේ

මම හිතන්නේ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය සාර්ථක වෙනවද කියන එක රඳා පවතින්නේ කොච්චර දුරට ශ‍්‍රීලනිපය දෙකඩ වෙනවාද කියන සාධකය උඩ. ලංකාවේ දේශපාලන අනාගතය ගැන අනාවැකි කියන්න අමාරු වුණත් දැනට පේන්න තියෙන්නේ මෛත‍්‍රී මහින්ද ප‍්‍රතිවිරෝධය උග‍්‍රවෙලා ශ‍්‍රීලනිපය දෙකඩ වෙන තත්ත්වයක්. කොහොමත් නායකත්වයෙන් මෛත‍්‍රීව එළවන්න බැහැ. ඒ නිසා ප‍්‍රති විරෝධය උග‍්‍ර වෙලා ශ‍්‍රීලනිපය දෙකඩ වුණොත් ඊළඟ ඡන්දයෙදී මහින්ද වෙනම දේශපාලන පෙරමුණකින් හෝ ශ‍්‍රීලනිපයේ විකල්ප කණ්ඩායමකින් ඡන්දයට එයි. ඔවුන්ට සැලකිය යුතු ආසන ගාණක් ලබාගන්න පුළුවන් වෙයි.

 
- http://ravaya.lk/-

 

 

විශේෂාංග