15 August 2018
RSS Facebook Twitter   

තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යස්ථාපිත කිරීමේ යෝජිත විධිවිධාන දුර්වලයි, ව්‍යාකූලයි.

sight infomationතොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාපිත කිරීමට 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කටයුතු යෙදීම හොඳ දෙයක් වන නමුත් ඒ සඳහා යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත් වගන්තිවල ඇති අනුමාන අවිශද ස්වාභාවය අවශ්‍ය තරම් අවධානයට ලක් වී ඇති බවක් නොපෙනේ. තොරතුරු දැන ගැනීමේ අයිතිය ලබා දීම පිණිස කෙතරම් හොඳ පනතක් කෙටුම්පත් කළද තොරතුරු ලබාගැනීමේ අයිතිය නිර්ණය කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා වගන්ති අනුමාන අවිශද ඒවා නම් ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්වන විට පනතේ යහපත් අභිප‍්‍රාය අවලංගු කරන්නට බලාපොරොත්තුවන අයට ව්‍යවස්ථා වගන්ති වාසිදායක වීමට ඉඩ තිබේ. එනිසා යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ එන තොරතුරු වෙත ප‍්‍රවේශවීම යනුවෙන් හැඳින්වෙන වගන්ති අනුමත කළයුත්තේ එකී ව්‍යාකූල වගන්ති ප‍්‍රතිශෝධනය කිරීමෙන් පසුව පමණි.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ තොරතුරු ලබාගැනීමේ අයිතිය නිර්ණය කර ඇති ආකාරයට අනුව තොරතුරු ලබා ගැනීමේ අයිතිය ඉතා පුළුල් ලෙස සීමා විය හැකිය. ”ජාතික ආරක්ෂාව, භෞමික අඛන්ඩතාව හෝ මහජන ආරක්ෂාව තහවුරු කිරිම පිණිස ද, විෂමාචාර හෝ අපරාධ වැළැක්වීම පිණිස ද, සෞඛ්‍යය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිස ද, අන් අයගේ කීර්තිය හෝ අයිතිවාසිකම් ආරක්ෂා කිරිම පිණිස ද, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිණිස ද, අධිකරණයට අපහාස කිරීම වැලක්වීම හා පාර්ලිමේන්තු වරප‍්‍රසාද ආරක්ෂා කිරීම පිණිසද, විශ්වාසය මත ලබාදෙන ලද තොරතුරු හෙළිදරව් කිරීම වැළැක්වීම පිණිසද, අධිකරණයේ අධිකාරී බලය හා අපක්ෂපාතීත්වය පවත්වාගෙන යාම පිණිස ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට අවශ්‍ය වන්නා වූ නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්” වලට තොරතුරු ලබා ගැනීමේ අයිතිය යටත්විය යුතු බව යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන්වේ.

ජාතික ආරක්ෂාව, විෂමාචාර හා අපරාධ වැලැක්වීම වැනි දෑ සම්බන්ධයෙන් අදාළ තොරතුරු වලට නීතියෙන් නිශ්චය කරන සීමාකිරීම් පැනවීම සාධාරණ නමුදු යෝජිත අනෙකුත්් කරුණු අතරින් ඇතැම් ඒවා බෙහෙවින් යල්පැන ගිය අදහස් මත ඇතුලත් කරනු ලැබූ තොරතුරු ලබාගැනීමේ අයිතියට හානි දායක විය හැකි ඒවාය. එයට එක් උදාහරණයක් වන්නේ සදාචාරය ආරක්ෂා කිරීම යන සංකල්පයයි. සදාචාරය යන්න එක් එක් පුද්ගලයාගේ අභිමතය පරිදි ඉතා පුලූල් ලෙස අර්ථකතනය කළ හැකි යල්පිනූ වහන්තරාවකි. යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ තොරතුරු අයිතිය පිළිබඳ සඳහන විචාරයට ලක්කරන පොදුරාජ්‍යමණ්ඩලීය මානව අයිතිවාසිකම් ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා මාජා දරුවාලා මහත්මිය පෙන්වාදෙන අන්දමට එකම පරම්පරාවක් තුළ වුවද සදාචාරය සම්බන්ධයෙන් සියල්ලන්ටම පිළිගත හැකි නිර්වචනයක් සැපයීම කළ නොහැකි දෙයකි. ඒ නිසා සදාචාර විරෝධී විය හැකිය යන අනුමානය අනුව ඇතැම් තොරතුරු මහජනතාවගෙන් වසං කිරීමට පාලකයන්ට මේ වහන්තරාව යොදාගතහැකිය.

යෝජිත ව්‍යවස්ථා වගන්තියේ අන්අයගේ කීර්තිය හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ තොරතුරු ලබාදීමට පනවා ඇති සීමාවද තොරතුරු ලබාගැනීමට ඇති අයිතියට හානිකර බාධකයකි. මේ අනුව මහජන නියෝජිතයන්ගේ හා මහජන සේවකයන්ගේ නොපනත්කම් හෙළිදරව් කෙරෙන තොරතුරු හෙලිදරව්කිරීම ඔවුන්ගේ කීර්තිය හෝ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්නයක් වියහැකිය යන සැකය මත සීමා කිරීම හෝ සහමුළින්ම වැලැක්වීමට කටයුතු යෙදීමට බලධාරීන්ට අවකාශය ලැබේ.

ඒ හා සමානව විශ්වාසය මත ලබාදෙන තොරතුරු‘ අනාවරණය සීමාකිරීමද බෙහෙවින් ව්‍යාකූල ලෙස පුලූල් අර්ථ කථනයන්ට ලක්විය හැකි හානිදායක යෙදුමකි. හුදෙක් තොරතුරු අණාවරනය වීම වැලැක්වීම පිණිසම විශ්වාසය මත තොරතුරු ලබා දෙමි යන පදනම මත රාජ්‍ය ආයතනයන්ට තොරතුරු ලබා දීම මේ මගින් දිරි ගැන්වේ. විශවාසය මත කෙනෙකුගෙන් ලබාගත් තොරතුරු බොහොවිට රාජ්‍ය ආරක්ෂාව, විෂමාචාර හා අපරාධ මර්ධනය, පෞද්ගලිකත්වය ආදී විෂය කරුනු සම්බන්ධයෙන් කොහොමටත් අදාල වේ. එබැවින් විශ්වාසය මත ලබාගත් තොරතුරු අණාවරණය වීම සීමාකිරීමට මෙසේ වෙනම විධිවිධානයක් යෙදීමෙන් සිදුවන්නේ එම කාරණය වඩා පුලූල් අර්ථකථනයන්ට යොදාගැනීමට හැකිවීමෙන් තොරතුරු හෙළිදරව් කිරීමේ සීමාව අවශ්‍ය ප‍්‍රමාණයට වඩා බෙහෙවින් පුළුල්වීමයි.
මෙකී ව්‍යවස්ථා වගන්තියට අනුව උසාවියට අපහාසවන තොරතුරු හා පාර්ලිමේන්තු වරප‍්‍රසාද යටතට ගැනෙන තොරතුරු සම්බන්ධයෙන් සීමා පැනවීමද බරපතල අඩුපාඩුවකි. යෝජිත ව්‍යවස්ථා වගන්තියට අනුව අධිකරණයේ අධිකාරී බලය හා අපක්ෂපාතීත්වය පවත්වාගෙනයාමට අවශ්‍ය තොරතුරු වලට කොහොමටත් සීමා පනවා ඇති බැවින් අධිකරණයට අපහාස විය හැකි තොරතුරු යනුවෙන් අමුතුවෙන් විධිවිධානයක් ඇතුළු කිරීමෙන් සිදුවිය හැකි එකම දෙය බලධාරීන්ට අභිමත ලෙස තොරතුරු අයිතියට ඇති සීමාවන් වඩාත් පුළුල් කිරීමට ඇති හැකියාවයි.

පාර්ලිමේන්තු වරප‍්‍රසාද මහජන යහපත සඳහා පාර්ලිමේන්තු විවාද පවත්වා ගැනීමට හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය විය හැකි වුවද තොරතුරු ලබා ගැනීමේ මූලික අයිතිය සීමා කිරීමට එය හේතුවක් විය නොහැකිය. මේ වගන්තිය යටතේ පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ තොරතුරු අනාවරණය කිරීමට සීමා පැනවීම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධීය. පාර්ලිමේන්තුව සැදුම්ගන්නේ මහජන ඡුන්දයෙන් පත්වන නියෝජිතයන්ගෙනි. එනිසා ඔවුන්ගේ කටයුතු පිළිබඳව ඕනෑම තොරතුරක් ලබා ගැනීමේ අයිතිය මහජනයාට තිබිය යුතුය.

අපේ අසල් වැසි ඉන්දියාව, බන්ගලාදේශය හා නේපාලය යනු රටවල බලපවත්වන තොරතුරු දැනගැනීමේ උචිත සීමාවන් මේ අතින් බැලූවිට ඉතා දියුණු මට්ටමක පවතී. උදාහරණයක් වශයෙන් ගත්විට ඉන්දියාවේ බලපවත්වන තොරතුරු දැනගැනීමේ නීතිය තුළ පනවා ඇති සීමා වලට සදාචාරයට හානිවන තොරතුරු, අන් අයගේ කීර්තියට හානිවිය හැකි තොරතුරු, විශ්වාසය මත ලබාදෙන තොරතුරු, අධිකරණයට අපහාසවන තොරතුරු වැනි ව්‍යතිරේක ඇතුළත් නොවේ. මේ අනුව බැලූවිට තොරතුරු ලබාගැනීම මූලික අයිතිවාසිකමක් වශයෙන් ව්‍යවස්ථානුකූලව පිළිගැනීීීමේ යහපත් අධ්‍යාශයකින් කරන ප‍්‍රතිපාදනයක් ලෙස හුවා දැක්වුවද යෝජිත ව්‍යවස්ථා වගන්තියෙන් අපට ලැබෙන්නට යන අයිතිය අපේ අසල්වැසි රටවැසියන්ට ලැබි ඇති අයිතියට වඩා දුර්වල එක්ක බව කිව හැකිය.
තෙරතුරු ලබාගැනීමේදී නිසිසීමාවන් පැනවීම අවශ්‍ය බව ඇත්තකි. එහෙත් එවැනි සීමාවන් ඉතා පටු ලෙස හා පුළුල් අර්ථකථනයන්ට හාජනය නොවන අන්දමට සලසා තිබීම අත්‍ය වශ්‍ය කරුණකි. අදාළ සීමාවන් තිබියදී වුවද මහජන යහපත සඳහා එළිදරව් කිරීම වැදගත් වන සියලූම අවස්ථාවලදී අදාළ තොරතුරු ලබා දිය හැකිය යන ව්‍යතිරේකය මෙකී ව්‍යස්ථා වගන්තියට ඇතුල් නොවීමද බරපතල අඩුපාඩුවකි. ඉන්දියාව, බංගලාදේශය නේපාලය වැනි අපේ අසල් වැසි රටවල ඇති තොරතුරු අයිතිය පිළිබඳ නීතිවල එවැනි ව්‍යතිරේකයක් පැහැදිලිව සඳහන් කර තිබේ. දැනට කෙටුම්පත් කරගෙන යන තොරතුරු අයිතිය පිළිබඳ පණතේ එවැනි සඳහනක් අඩංගු කළ හැකියැයි කෙනෙකුට තර්ක කළ හැකි වුවද යෝජිත ව්‍යවස්ථා සංශෝධනය තුළ ඒ සඳහා ප‍්‍රකාශිත අවකාශයක් නොතිබීම නිසා එවැනි ප‍්‍රයත්නයක් ව්‍යස්ථා විරෝධීවේ යැයි සාර්ථකව අභියෝග කිරීමේ අනතුරක් පවතී.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීම, පාර්ලිමේන්තු වරප‍්‍රසාද, සදාචාරය, අන් අයගේ කීර්තිය හෝ අයිතිවාසිකම් ආරක්ෂා කිරිම, විශ්වාසය මත ලබාදෙන ලද තොරතුරු හෙළිදරව් කිරීම වැළැක්වීම යන සීමාවන් යෝජිත ව්‍යවස්ථා වගන්තියෙන් ඉවත් කළ යුතුය. ඒවා ඉවත් කළ පසු ඉතිරිවන අනෙකුත් සීමාවන් මහජන යහපත සඳහා අවශ්‍ය අවස්ථාවලදී එළිදරව් කළ හැකිය යන ව්‍යතිරේකය සහිතව සම්මත කරගැනීමෙන් අපේ අසල්වැසි රටවලට නොදෙවැනි ලෙස තොරතුරු ලබාගැනීමේ අයිතිය දිනාගැනීමට අපට ප‍්‍රමාණවත් විය හැකිය. මේ හැර කෙටුම්පත් කර ඇති තොරතුරු දැනගැනීමේ පනතද නොපමාව මහජන සාකච්ඡාව සඳහා එළිි දැක්විය යුතුය.
විජයානන්ද ජයවීර

 

 

විශේෂාංග