15 August 2018
RSS Facebook Twitter   

දින 100 සහ ඉක්බිතිව - තිසරණී ගුණසේකර

 

100මහ බැංකුවේ අධිපතිවරයාව අල්ලස් කොමිසම ඉදිරියට කැඳවා පැය හයක් තිස්සේ ප‍්‍රශ්න කෙරුණි. තුන් මසක් යන තෙක් රටින් පිටවීම ඔහුට තහනම් කෙරුණි.

 

ජනවාරි 8 වැනි දා සිට අප ලබා ඇති ප‍්‍රගතියේ යම් තරමක් එම තනි සිද්ධියෙන් පෙන්නුම් කෙරේ.

රාජපක්ෂ පාලනය අවසන් කළ දා සිට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, වගවීම සහ නීතියේ ආධිපත්‍යය දක්වා ගොස් ඇති ගමන පරිපූර්ණ නැත: එය මන්දගාමී ය. නතරවීම් සහ අතුරු හැරවීම් සහිත ය. එහෙත්, ගමන දිගටම යයි. අර්ජුන මහේන්ද්‍රන්ව ප‍්‍රශ්න කිරීම ඊට පැහැදිළි සාක්ෂියකි.

රාජපක්ෂ පාලනය යටතේත්, මහබැංකුවේ සාංගම් ගනුදෙනු පිළිබඳ බොහෝ චෝදනා තිබුණි. එහෙත් පත්කළ කිසි කමිටුවක් නැත. සිදුකළ පරීක්ෂණයක් නැත. ප‍්‍රශ්න කිරීමකට ලක්වූ කිසිවෙකු නැත. එදා සිටි මහබැංකු අධිපතිවරයාව කොහෙත්ම ප‍්‍රශ්න කෙරුණේ නැත.

සර්ව සම්පූර්ණ ආණ්ඩු නැත. ඉස්සර තිබුණේද නැත. මනෝ රාජ්‍යයක මිස, මත්තටත් නොතිබෙනු ඇත. අල්ලස සහ දූෂණය කවදත් පවතිනු ඇත. දේශපාලඥයන් සහ නිලධාරීන්ද, සාමාන්‍ය ජනතාව සේම අයාලේ යාමටත්, වරදට පෙළඹීටත් ඉඩ තිබේ. අත්‍යාවශ්‍ය වන්නේ සහ කළ හැකි වන්නේ, දණ්ඩමුක්තිය (දඬුවම් නොවිඳ වැරදි කිරීමට ඇති හැකියාව) ප‍්‍රතික්ෂේප කෙරෙන මානසිකත්වයක් ගොඩනැගීම සහ කෙතරම් බලපුලූවන්කාරයන් වෙතත් වැරදිකරුවන්ට දඬුවම් කළ හැකි ක‍්‍රමවේදයක් ගොඩනගා ගැනීමයි.

මහ බැංකුවේ බැඳුම්කර පටලැවිල්ලට අදාළ ක‍්‍රියාවලිය ඉදිරියට ඇදෙමින් පවතින ස්වභාවය, එවැනි අනාගතයක් වෙත වැටී ඇති නිවැරදි මාවතක සංඥා දනවයි.
දින 100 වැඩපිළිවෙල, අසාමාන්‍ය මහේක්ෂාවකි. නව ජනාධිපතිවරයාට සහ නව ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් තිබුණත්, එම වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීම උගහට ය. පළමු දින 100 ඇතුළත කළ යුතුව තිබූ සහ කළ හැකිව තිබූ සියල්ල කෙරුණේ නැත. එහෙත් ඒ සඳහා වන ප‍්‍රගතියක් දැකිය හැක. ජීවන වියදම දැන් තරමක් සැහැල්ලූයි. යෝධ කැසිනෝ වසංගතය අහවරයි. මාධ්‍යට එරෙහි සීමා ධූරිභූතයි. වාර්ගික ප‍්‍රශ්නයක් ඇති බව සහ ඒ සඳහා වන දේශපාලනික විසඳුමක අවශ්‍යතාව පිළිගැනී තිබේ. සුළුතර-විරෝධී සන්නිය යට ගොසිනි. උතුරේ ඉඩම් යම් ප‍්‍රමාණයක් ඒවායේ අයිතිකරුවන්ට ආපසු ලබා දී තිබේ. සිවිල් සමාජය අරක්ගත් හමුදාකරණය නතර වී ඇත. සොල්දාදුවන් සහ නැවියන්ව දාස කර්මයෙන් නිදහස් කොට ඇත. දණ්ඩමුක්තිය යට යමින් තිබේ. අධිකරණය, පෙරට වඩා බලවත්ව සහ ස්වාධීනව හැසිරෙන සෙයක් පෙනේ. සන්නද්ධ රථ පෙළපාලි නැතිව ඇමතිවරු යති එති. මාර්ග රතු එළි ළඟ නතර වෙති…
තව කිරීමට බොහෝ දේ ඇත. ‘කළ යුතු’ ලැයිස්තුවේ ඉදිරියෙන්ම තිබෙන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් වදා, 18 වැනි සංශෝධනයෙන් අසීමිත සේ හදා ගත්, අපරූපී සහ අන්තරයාකාරී බල-අසමතුලිතතාව නිවැරදි කිරීම එයින් ඉලක්ක කෙරේ.

විධායක ජනාධිපති ක‍්‍රමයේ ශී‍්‍ර ලාංකේය මාදිලිය, එම ක‍්‍රමයේ මූලික අභිමතාර්ථ ගණනාවක් සාධනය කර ගැනීමට අසමත් විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බෙහෙවින් හතුරුව ඇති එම ක‍්‍රමය, අස්ථාවරත්වය නිර්මාණය කොට ඇත. ආතක්පාතක් නැතිව දූෂණය වගා කොට ඇත. සමාව දිය නොහැකි තරමේ අකාර්යක්ෂමතාව රෝපණය කොට ඇත. එහෙත් එම ක‍්‍රමය තුළ ඇති වඩාත් මාරාන්තික උපද්‍රවය වන්නේ, දේශපාලනික නායකයන් තුළ අත්තනෝමතික සිහින ජනිත කැරැුවීමට එය දක්වන සහජ ප‍්‍රවණතාවයි. එම ක‍්‍රමය යටතේ ජනාධිපතිවරු, ඔටුනු නොපළන් රජවරුන් සේ කටයුතු කිරීමට බලති. අතීත රජවරුන්ගේ නූතන වේශයෙන් පෙනී සිටීමට බලති. ඔවුන්ගේ හෙංචයියන් ඔවුන්ව රජවරුන් සේ මුරුංගා අත්තට නංවන විට, විනාශය ඒ පස්සෙන් ඇදී එයි. විධායක ජනාධිපති ක‍්‍රමය සහ ප‍්‍රජාතන්තවාදය එකිනෙකට අනුගත වන රටවල්, බොහෝ විට රාජකීය අතීතයක් නැති රටවල් වීම, සමහරවිට අහම්බයක්ම විය නොහැක. එසේ නොවෙතැයි සිතෙන පැහැදිළි ව්‍යතිරේකය වන්නේ ප‍්‍රංශය පමණි. එහෙත් ප‍්‍රංශ ඉතිහාසය තුළ රාජත්වය තීරණාත්මකව ප‍්‍රතික්ෂේප කොට තිබේ. එසේම, ජනප‍්‍රිය රාජඝාතනයෙන්ද අඩුවක් නැත.

ශ‍්‍රී ලංකාව වැනි රටක තනි පුද්ගලයෙකුගේ අතේ සකල බලය කේන්ද්‍රගත වීම තුළ පවතින අනතුරු සහ පීලිපැනීම් කවරාකාරද යන්න පසුගිය වසර කිහිපය තුළ අපේ ඇස්පනාපිට පෙනෙන්ට තිබුණි. රාජපක්ෂ පාලනය තුළ අත්දුටු ව්‍යසනය නිසාම, බලය විසුරුණු සහ බලය බෙදාහැරෙන, බහු-කේන්ද්‍රීය ක‍්‍රමයක අවශ්‍යාතාව අපට දැනිය යුතුය. ශ‍්‍රී ලංකාවට අවශ්‍ය කරන්නේ, නිසියාකර තුලන සහ සංවරණ සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයකි. එවැනි ක‍්‍රමයක් තුළ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා අතේ අසීමිත බලයක් ගොනු වීම වැළකෙයි. මේ කාරණය, ශ‍්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් පැහැදිළිවම වටහා ගත්හ. මහින්ද රාජපක්ෂ පරාජය කොට මෛත‍්‍රීපාල සිරිසේනව බලයට පත්කරගත්තේ එබැවිනි.

1970 සහ 1977 මැතිවරණ ජයග‍්‍රහණයන්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසක් සඳහා දුන් ජන අනුමැතීන් සේ සළකන්නේ නම්, 2015 ජයග‍්‍රහණය ඊටත් වඩා ඒ සඳහා දුන් ජනතා කැමැත්තක් සේ සැළකිය හැකිය. 1970 දී හෝ 1977 දී මෙන් නොව, 2015 දී මැතිවරණ වේදිකාවේ ප‍්‍රධාන සටන් පාඨය වුණේ, පොදුවේ ව්‍යවස්ථා වෙනසත්, විශේෂයෙන් විධායක ජනාධිපති ක‍්‍රමයේ වෙනසත් ය. ඒ නිසා, මෛත‍්‍රීපාල සිරිසේනගේ ජයග‍්‍රහණය සැළකිය යුත්තේ, නව ආණ්ඩුකරණ ක‍්‍රමයක් වෙනුවෙන් දෙන ලද වරමක් වශයෙනි. එය, විධායක බලය පරිහරණය කිරීමට නොව, එය වෙනස් කිරීමට දෙන ලද වරමකි.

නොවෙනස් වන සත්‍යයන් සහ නොවරදින සුළු විසඳුම් තිබෙන්නේ ආගම් පරිශ‍්‍රයේ ය. සර්වඥයන් වහන්සේලා හෝ දෙවියන් වහන්සේලා දේශපාලනයේ නැත. එහි සිටින්නේ, යහපත් හෝ අයහපත් ප‍්‍රතිපත්ති හරහා අරගල කරන පෘථග්ජනයන් ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සර්ව සම්පූර්ණ නැත. එසේ විය යුතු යැයි අපේක්ෂා කරන්නේද නැත. එහි ගුණ සුවඳ විමසිය යුත්තේ, දැනට පවතින පාලන ක‍්‍රමය සමග සන්සන්දනයෙන් මිස මනෝරාජික පරමාදර්ශයක් සමග සන්සන්දනයෙන් නොවේ. ඒ මිණුම් දණ්ඩ අනුව බැලූවොත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ වැඩි ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශයක් තිබේ. පාලකයන්ගේ අයථා භාවිතාවන් වැළැක්වීමේ සහ ජනතා අයිතීන් ආරක්ෂා කිරීමේ වැඩි හැකියාවක් තිබේ. බුද්ධිමත්, සංවේදී සහ කාර්යක්ෂම ආණ්ඩුකරණයක් ඇති කර ගැනීමට වැඩියෙන් ඉඩකඩ තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ඒක-රූපී වන්නේවත්, නොවෙනස් වන්නේවත් නැත. එය, සාදා නිම කළ දෙයක් හෝ ගලේ කෙටූ සදාකාලික ගමනාන්තයක් හෝ නොවේ. එය වූ කලී, නිරන්තරයෙන් ප‍්‍රවර්ධනය කෙරෙන, නිරන්තර අත්හදාබැලීමකි. ඇත්ත වශයෙන්ම එය නොනැසී පවතින්නේද, කාලානුරූපව වෙනස් වීමට ඊට ඇති හැකියාව නිසාම ය. එසේම, සර්ව සම්පූර්ණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා හෝ ව්‍යවස්ථා සංශෝධන හෝ ඇත්තේද නැත. පවතින ක‍්‍රමය, බොහෝ අංශවලින් සුගතියක් නොවන බව නම් අපි දනිමු. ඒ පවතින ක‍්‍රමය විසින් නිර්මාණය කොට ඇති ඇතැම් ප‍්‍රශ්න, මේ 19 වැනි සංශෝධනය හරහා විසඳෙනු ඇත. එහෙත් එය තුළද ප‍්‍රශ්න පවතිනු ඇත. දවසක, එම ක‍්‍රමයත් සංශෝධනය කළ හැක. නැතිනම්, වඩාත් හොඳ ක‍්‍රමයක් වෙනුවෙන් අතහැර දැමිය හැක. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණය එයයි. යහපත් දේ ආරක්ෂා කර ගැනීමටත්, අයහපත් දෑ බැහැර කිරීමටත් ඊට හැකියාව ඇත.

දේශපාලනික අංගන භීතිකාව
ශ‍්‍රී ලංකාවේ අද පවතින බලය, ඉතිහාසයේ කිසි විටක තිබුණාට වඩා, විසාරිතව තිබේ. හේතුව, ජනවාරි 8 වැනි දා ලද ජයග‍්‍රහණය, අසාමාන්‍ය පුළුල් පදනමක පිහිටා තිබීමයි. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ වචනයෙන් කියන්නේ නම්, මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණය ජයගත්තේය. එහෙත් ඔහු එම ජයග‍්‍රහණය ලැබුවේ, ලංකා ඉතිහාසයේ වඩාත් විසාරිත දේශපාලනික සන්ධානයකට ස්තුතිවන්ත වන්නටයි. ජනවාරි 8 වැනි දා ජයග‍්‍රහණයට සැබවින්ම බොහෝ පියවරු සිටිති. ඇත්තෙන්ම බොහෝ පියවරුන්ගෙන් තොරව එවැනි ජයග‍්‍රහණයක් අත්කරගත නොහැකිව තිබුණි. මේ පීතෘත්වය, කිසි තනි පුද්ගලයෙකුට, තනි පක්ෂයකට හෝ තනි සංවිධානයකට හිමි නොවේ.

කිසි තනි පුද්ගලයෙකු හෝ තනි පක්ෂයක් සකල බලය අභ්‍යාස කරනු නොලැබුවත්, රට යහතින් ඉදිරියට ඇදේ. රාජපක්ෂ උණකාරයන්ගේ ඔල්මොරොන්දන් සිත්වල මිස, රටේ බෙදීමක් නැත. කඩා වැටීමක් නැත. අරාජිකත්වයක් නැත. කලබලයක් නැති, සන්සුන්, (නීරස වන තරමට) සාමාන්‍ය වර්තමානය කියාපාන්නේ, රටේ ස්ථාවරත්වය සඳහා බලය සංකේන්ද්‍රණය වීමක් අවශ්‍ය නොවන බවයි. අරාජකත්වය පිටමං කිරීම සඳහා, ඔටුනු නොපළන් රජෙකු අවශ්‍ය නොකරන බවයි.

‘මිනිසා උපදින්නේ නිදහස්වයි. එහෙත් හැම තැනකම ඔහු යදමින් බැඳී සිටී.’ යනුවෙන් රූසෝ ලියා තිබේ. නිදහස්ව උපදින සෑම පුරවැසියෙකුටම නිදහසේ අගය දැනෙන්නේ නැත. සමහරුන්ට නිදහස අවශ්‍ය නැත. මේ දේශපාලනික අංගන භීතිකාවෙන් පෙලෙන රෝගීන්ට, සාමාන්‍ය ජීවිතය වන්නේ බන්ධනය මිස නිදහස නොවේ. තමාට ඉහළින් වැජඹෙන අධිපතියෙකු නැති විට ඔවුන්ට දැනෙන්නේ අනාරක්ෂාවකි. වියෝගයකි. මංමුළාවකි.

ඒ අයුරින්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් යැයි කියමින් එරෙහි වන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ විපරීත දර්ශනය අපට මුණගැසේ. මේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ම කලකට පෙර අන්ත ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡුන්දය පාවිච්චි කළ පිරිසම වීමෙන් පෙන්නුම් කරන්නේ, ඔවුන් ඕර්වෙල්ලියානු ලෝකයකට අයත් සත්ව කොට්ඨාශයක් වන බවයි. එම ලෝකයේ, යුද්ධය යනු සාමයයි. නිදහස යනු වහල් භාවයයි. මුග්ධ භාවය යනු ශක්තියයි. මොවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් වීම යනු, චීනය සමාජවාදී වීම මෙනි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුරවැසියන් අවශ්‍ය කරන්නා සේම, ප‍්‍රජාපීඩක තන්ත‍්‍රයන් සඳහා අවශ්‍ය කරන්නේ දීන යටත්වැසියන් ය. රාජපක්ෂ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ අපේ රාජකීය අතීතයට ආවඩන සාමූහික මානසිකත්වයක් නිර්මාණය කිරීමට යත්න දැරීමත්, සර්වබලධාරී, සර්වඥ සහ අසහාය ‘වීර රජෙකු’ සිටීම, ජාතික ආරක්ෂාව සහ අභිවෘද්ධිය සලසන සහතිකයක් වශයෙන් ගැනීමත්, හුදු අහම්බයක් නොවුණි. කෙසේ වෙතත්, ඒ රාජපක්ෂ ව්‍යාපෘතිය ඉතිහාසයේ කුණු කූඩයට වැටී ඇත. එහෙත්, දැනුවත් පුරවැසියන්ව මුග්ධ සහ භ‍්‍රාන්ත යටත්වැසියන් බවට පත්කිරීමේ පාලක අභිලාෂය රාජපක්ෂලාට පමණක් විශේෂිත වන්නක් නොවේ. එම අනතුර වෙනත් දේශපාලඥයන් වෙතින්ද බිහි වීමට ඉඩ තිබේ. අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය දියාරු කිරීමට හෝ බාල්දු කිරීමට කිසි පක්ෂයකට හෝ කිසි නායකයෙකුට අප ඉඩ නොතැබිය යුත්තේ එබැවිනි. අපව සදාතන ළදරුවන් සේ සළකා කටයුතු කිරීමට කිසිවෙකුට අප ඉඩ නොදිය යුත්තේ එබැවිනි. දේශපාලනික අංගන භීතිකා රෝගීන්, යදම් ගැන සිහින දැක්කාවේ. අපේ අධිෂ්ඨානය විය යුත්තේ, ‘නැවතත් නම් එපා/’ යන්නයි.

ස්වයං-නින්නාද මැදිරියේ සිටින රජු
බොහෝ ආගම්වලට, ඔවුන්ගේම නිර්මාණවාදී මිථ්‍යාවන් තිබේ. ඉන් සමහරක්, අනිත් ඒවාටත් වඩා, මුග්ධ ය. උදාහරණයක් වශයෙන් ‘විද්‍යාවේදී සභාව’ ලෝකයේ ආරම්භය ගැන කියන කතාව බලන්න: ‘‘තාරකා මණ්ඩලයේ අධීශ්වරයෙකු වන ක්ෂෙනූ, අවුරුදු මිලියන 75 කට ඉහතදී එහි විසූ මිනිසුන් රාශියක් පෘථුවි හිරේට පිටමං කොට ගිනි කª යායකට අතහැරියේය. අනතුරුව ඔවුන්ගේ ආත්ම, න්‍යෂ්ටික බෝම්බ සමග විසුරුවා හැරියේය. මේ ආත්ම, අද දක්වාමත් මිනිසුන් බැඳගෙන සිටිති.’’

මිනිස් පරිකල්පනය තරමටම, මිනිසුන්ගේ රැවටීමත් අසීමිත ය. ශ‍්‍රී ලංකාව වියවුලෙන් ගලවා ගත හැක්කේ මහින්ද නැමැති වීර රජුගේ ජයග‍්‍රාහී පුනරාගමනයකින් පමණකැ යි, රාජපක්ෂ හෙංචයියන් තුළ පවතින විශ්වාසයත්, එම පොදු මානව අවිචාරයට වැඩි දෙයක් නොවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබේ. එහෙත් එම බහුතරය, වර්තමාන දේශපාලනික-මැතිවරණමය යථාර්ථය නිරූපණය කරන්නක් නොවේ. ඔවුන්ව පාර්ලිමේන්තුවට පත්කළ යථාර්ථය අභාවයට ගොස් දැන් බොහෝ කලක් ගතව ඇත. වර්තමාන පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට හිමිවන්නේ සුළුතරයක් වුවත්, අද මැතිවරණයක් පැවැත් වුවහොත්, වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගන්නා තනි පක්ෂය වන්නේ එයයි. එවිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වනු ඇත්තේ දෙවැනි ස්ථානයකි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කැඞීමට ගන්නා මහින්ද රාජපක්ෂගේ වෑයම සාර්ථක වුවහොත්, ඒ දෙවැනි ස්ථානයත් ඉතා දුර්වල දෙවැනි ස්ථානයක් වෙනවා නොඅනුමානයි.

මහින්ද රාජපක්ෂගේ දෙවැනි ආගමනයක් පිළිබඳ මායාවන් පැත්තකින් තිබ්බොත්, එක සත්‍යයක් රාජපක්ෂට වැටහිය යුතුය. එනම්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වන බෙදීමකින් වාසි ලබන එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය බවයි. එහෙත් කතාවට කියන පරිදි ‘යන යකා කොරහත් බිඳගෙන යන’ තරමට ඔහුගේ කුඩුකේඩුකම ඉහවහා ගොසිනි. පළිගැනීමට ඔහු තුළ ඇති ආශාව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කරවන තෙක් නොසන්සිඳෙන තරමි.

මහින්ද රාජපක්ෂ තවම වෙසෙන්නේ ඔහුගේ ස්වයං-නින්නාද මැදිරියේ ය. එහිදී ඔහුට ඇසෙන්නේ, ඇසීමට ආශා කරන දේවල් පමණි. සංවිධානය කෙරෙන බස්රථවලින් තම නිවෙසට හෝ වෙනත් තැන්වලට ගෙන්වා ගන්නා පක්ෂපාති ජනයාගේ නමස්කාර පූර්වක වන්දනා ඔහුව තුටුපහටු කරවයි. ජනතා මතය ඔහු තවමත් කියවන්නේ වැරදියටයි. තමා ගමන් කරමින් සිටින්නේද, මීට කලකට ඉහතදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ගමන් කරමින් සිටි මගේම බව ඔහුට නොවැටහෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සේම, මහින්ද රාජපක්ෂ සහ සමාගමත්, ඡන්දයක් පැවැත්වුවහොත් සියයට 10 කට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් ලැබීමට ඉඩක් නැත.

ජනාධිපතිවරණයේදී සෑම පේනකාරයෙකුම රාජපක්ෂගේ ජයග‍්‍රහණය දිව්රා සපථ කරද්දී, මෛත‍්‍රිපාල සිරිසේන දිනන බවට ගාල්ලේ හිඟන්නෙක් ඔට්ටුවක් ඇල්ලූවේය. 2010 දී මහින්ද රාජපක්ෂට ඡන්දය පාවිච්චි කොට තිබූ මේ හිඟන්නා, තමන් වැනි සමාජයේ පත්ලට වැටී සිටි ජනයාට ජයග‍්‍රහණයෙන් පසු රාජපක්ෂලා සැළකු සැටි අත්දැක තිබුණි. ජනාධිපති රාජපක්ෂ හෝ ආරක්ෂක ලේකම් රාජපක්ෂ හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජපක්ෂ හෝ ගාල්ලෙන් යනෙන හැම විටකම රාජකීය ඇසට මුලිච්චි නොවන සේ හිඟන්නන්ව පොලීසියෙන් අල්ලාගෙන යාම සිරිතක් විය. තමාව පත්කෙරෙනු අවඥාව සහ සාමාන්‍ය ජනතාව කෙරෙහි පාලකයන් දක්වන ආකල්පය අතර සමානත්වයක් ඇති බව අර හිඟන්නාට වැටහුණාට සැකයක් නැත.

ආසියානුවන්/ලාංකිකයන් ඔවුන්ගේ ඉස්මොළවල යම් වහල්-අණුවක් සහිතව උපත ලබනවා නොවේ. ප‍්‍රජාපීඩක අධිකාරීවාදය, පවතින ඓතිහාසික යුගයේ ප‍්‍රතිවිපාකයක් මිස, භූ-දේශපාලනික ස්ථානීය සංසිද්ධියක් නොවේ. එසේම, නිදහස සඳහා අද තිබෙන අභිලාෂයද, විශ්ව මිනිසාගේ අභිලාෂයක් මිස, බටහිර අභිලාෂයක් නොවේ. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලවලින් පෙන්නුම් කෙළේ, ලංකාවේ බහුතරයක් ජනයාද ඒ අභිලාෂය දරා සිටින බවයි. ‘යම් අභිනයක් හෝ වචනයක් වරදවා ගැනීම මත ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන ලෝකයකට අනුගත වීම මට නම් කළ නොහැක.’ යනුවෙන්, නොබෙල් ත්‍යාගලාභී ජරමානු සාහිත්‍යධර හයින්රික් බොල් වරක් ලීවේය. අපි ඒ ලෝකය දැන් පසු කර පැමිණ සිටිමු. දින 100 ක් ගතව ඇති අද පවතින තත්වය, සර්ව සම්පූර්ණ නැත. ගමන් වේගය, මන්දගාමී ය. තව කිරීමට බොහෝ දේවල් තිබේ. යන මාවත තවම වැරදි නැත. යහපත් හෙට දවසක් සඳහා වන අපේක්ෂාව අතහැර දැමීමට මොනම හේතුවක්වත් නැත.

*2015 අපේ‍්‍රල් 19 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Hundred Days And After නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

 

 

 

විශේෂාංග