22 September 2018
RSS Facebook Twitter   

මෙරට විදේශ ඇමති මහේෂිනී කොළොන්නේ ද ?

 

Kolonneකුප්‍රකට මහින්ද-සජින් හිතවාදිනියක වන මහේෂිනී කොළොන්නේ මේ වනවිට විදේශ කටයුතු අමාත්‍යංශයේ අමාත්‍යවරයා වන මංගල සමරවීර මහතාටද ඉහළින් සිටිමින් කටයුතු කරන බව පෙනේ. ඇමතිවරයා මහේෂිනී කොළොන්නේ යටතේ කටයුතු කරමින් සිටින්නෙකු බවට පත්ව තිබේ.
 
මහේෂිනී කොළොන්නේ 1998 වසරේදී විදේශ කටයුතු අමාත්‍යංශයේ සේවයට එක්වන අතර එවකට ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඇමතිවරයා ලෙස කටයුතු කළේය. ඇය විදේශ සේවයකට එක්වන විට ඒ සඳහා මූලික සුදුසුකමක් වන පිළිගත් විශ්වවිද්‍යාලයකට උපාධියක් නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල විය. එහෙත් ඇය විදේශ සේවයට බඳවා ගන්නා තරග විභායට පෙනී සිට ඉහළ දේශපාලන සබඳතා හරහා එම චෝදනාව යටපත් කරගෙන ඇත. ඒ අනුව ඇය විදේශ කටයුතු අමාත්‍යංශයේ පත්වීම් ලබාගන්නේ පසුපස දොරෙන් බව පැහැදිලිය. එම කාලසීමාවේදී විවෘත තරග විභාගයක් පවත්වා ඇත්තේ දේශපාලන අධිකාරියට අවශ්‍ය පුද්ගලයන් විදේශ සේවාව සඳහා බඳවා ගැනීමේ අරමුණ ඇතිවය. පසුගිය 2013 වර්ෂයේදී ජවිපෙ නායක අනුර දිසානායක මහතා විදේශ කටයුතු අමාත්‍යංශය සහ තානාපති සේවාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාවේදීද මේ සම්බන්ධව කරුණු දක්වා තිබේ. 
 
2015 මාර්තු 20 දින කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය විසින් පළකළ හෙළිදරව්වේ සඳහන් ආකාරයට පසුගිය රාජපක්ෂ පාලන සමයේ විදේශ කටයුතු අමාත්‍යංශය පාලනය කල සජින් වාස් ගුණවර්ධනගේ අමාත්‍යංශය පාලනය කරන එක් ඉත්තකු ලෙස ක්‍රියා කළේ මෙම මහේෂිනී කොළොන්නේය. සජින්ගේ සෙසු ඉත්තන් ලෙස ක්‍රියා කළේ ෂෙනුකා සෙනෙවිරත්න, මජින්ත ජයසිංහ, රොඩ්නි පෙරේරා ඇතුළු පිරිසකි. එවකට විදේශ කටයුතු ඇමතිවරයා වූ ජී.එල්. පීරිස්ටද වඩා ඉහළින් සිටිමින් මේ කණ්ඩායම සමස්ත විදේශ සේවාවම විනාශ මුඛයට ඇද දැමූහ. නව රජයක් බලයට පත්වුවද ඇමතිවරයා වෙනස් වුවද තවමත් පසුගිය කාලයේ විදේශ සේවාවට අරක් ගෙන සිටි භූතයන්, පෙරේතයන් තවමත් හොල්මන් කරන බව මෙම නිළධාරීන් තවමත් යහතින් සිටීමෙන් හා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් පැහැදිලි වේ. 
 
රාජපක්ෂ පාලනය බිඳවැටීමත් සමග අංශක 180 කින් ආපසු හැරී ඇති මහේෂිනී කොලොන්නේ මේ වනවිට වත්මන් විදේශ ඇමති මංගල සමරවීර මහතාගේ අංක එකේ විශ්වාසවන්ත නිළධාරිනිය බවට පත්වෙමින් තම පුටුව ආරක්ෂා කරගෙන තිබේ. එයට එක් හේතුවක් වන්නේ මේ වනවිට අත්දැකීම් බහුල, කාර්යක්ෂම, ඵලදායී ලෙස කටයුතු කරන නිළධාරීන් විදේශ සේවාව සතුව නොසිටීමයි. මීට පෙර මංගල සමරවීර මහතා 2005-2006 කාලසීමාවේදී විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේදී විදේශ සේවාවේ අත්දැකීම් බහුල එස්. පලිහක්කාර මහතා අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර එම කෙටි කාලය තුළ ඇමතිවරයා සහ ලේකම්වරයා විදේශ සේවාවට විශාල කාර්යභාරයක් සිදුකළ අතර විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන ජයන්ත ධනපාල මහතාගේ සේවයද ඔවුන්ට නොඅඩුව ලැබිණි. තවත් හේතුවක් වන්නේ දැනට සිටින අවංක, අත්දැකීම් බහුල නිළධාරීන්, පසුගිය කාලයේ අමාත්‍යංශයට අරක්ගෙන සිටි පුද්ගලයන් විසින් මුළුගන්වා තිබීමයි. ඔවුන්ට ඇමතිවරයා හමුවී අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව පවා අහිමි කර තිබේ. රාජපක්ෂ රෙජීමය විසින් මංගල සමරවීර ඇමතිවරයා සහ පලිහක්කාර ලේකම්වරයා ඉවත් කිරීමට කටයුතු කළේය. මෙරට විදේශ සේවය විනාශය කරා කැඳවාගෙන ගිය පෙරේතයන්, කුම්භාන්ඩයන් විදේශ අමාත්‍යංශයට අරක්ගත්තේ ඉන් පසුවයි.
 
විදේශ කටයුතු අමාත්‍යංශයේ වත්මන් ලේකම් වාගීෂ්වර මහත්මිය නාමමාත්‍රික ලේකම්වරිය පමණක් වේ. අමාත්‍යංශයේ සහ විදේශ සේවාවේ පාලනය ලේකම්වරියගෙන් සහ ජ්‍යෙෂ්ට නිළධාරීන්ගේ ඉවත් කොට ඇති අතර ඒ සම්බන්ධ සියලු වගකීම් දරන්නේ මහේෂිනී කොළොන්නේ සහ ඇමරිකා එක්සත් ජනපද තානාපති ප්‍රසාද් කාරියවසම් විසිනි. මෙම දෙදෙනා මේ වනවිට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා තමන්ට අවශ්‍ය ආකාරයෙන් හසුරුවමින් සිටී. මහේෂිනී සහ ප්‍රසාද් කාරියවසම් අතර කලෙක පටන් සමීප සබඳතාවයක් පවතින අතර එය ආරම්භ වූයේ ප්‍රසාද් කාරියවසම් ඉන්දියානු මහ කොමසාරිස් ලෙස සේවය කරන සමයේදීය. කාරියවසම් දිල්ලියේ සිටින අතරතුර සජින් වාස්ගේ අනුබලයෙන් මහේෂිනී ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස පත්වීම් ලබන අතර ඔවුන් දෙදෙනාටම එක්ව කටයුතු කළහැකි ආකාරයෙන් ඔවුන් දෙදෙනා ඉන්දියානු නියෝජිත කණ්ඩායම්වලටද සජින් වාස්ගේ ආධාරයෙන් ඇතුළත්ව තිබේ. මෙය මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නොසලකා හැරිය නොහැකි තත්ත්වයකි.
 
ප්‍රසාද් කාරියවසම් සහ මහේෂිනී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රතිපත්ති, ව්‍යූහය හා ක්‍රියාකාරීත්වය සකස් කරන ප්‍රධාන පුද්ගලයන් දෙදෙනා ලෙස මේ වනවිට කටයුතු කරන අතර එහිදී වර්තමාන ආණ්ඩුව අපහසුතාවයට පත්වන අන්දමින් හා ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වන ආකාරයෙන් කටයුතු කරන බව වාර්තා වේ. එහිදී ඔවුන් දෙදෙනා ගන්න තීන්දු තීරණ සම්බන්ධයෙන් විදේශ කටයුතු ලේකම්වරිය දැනුවත් කර නොමැති අතර අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ද ඒ සම්බන්ධයෙන් දැනුවත් කර නොමැත. 
විදේශ අමාත්‍යංශය සහ විදේශ සේවය වලපල්ලට ඇදදමමින් සිටිනවාට අමතරව මහේෂිනී කොළොන්නේ තමන් සමග සේවය කරන නිළධාරීන් සහ මංගල සමරවීර ඇමතිවරයා අතර ඇතිවන සබඳතා බිඳවැට්ටවීමේ අරමුණෙන් ඔවුන් සම්බන්ධයෙන් ඇමතිවරයාට කේළාම් කියමින් සිටින බවද වාර්තා වේ. මංගල සමරවීර යනු එවැනි ඕපාදූප පිළිගන්නා පුද්ගලයෙක් නොවුනද මේ වනවිට ඔහු එවැනි කතා විශ්වාස කරන මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ. මේ ආකාරයෙන් කටයුතු කිරීමේ අරමුණ වී ඇත්තේ අමාත්‍යංශයේ සිටින අවංක සහ දක්ෂ නිළධාරීන් ඇමතිවරයාගෙන් ඈත්කොට තමාට අවශ්‍ය ආකාරයට ඇමතිවරයා මෙහෙයවීමටයි. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශයේ  විදේශ සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මියයි. ඇය විදේශ සේවයේ ඉතා බුද්ධිමත් හා දක්ෂ නිළධාරිනියක් වන අතර 2005-2006 කාලසීමාවේදී මංගල සමරවීර මහතා සමග සමීපව කටයුතු කළ අයෙකි. පසුගිය රජයේ හා විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂගේ දැඩි බටහිර විරෝධී ප්‍රතිපත්ති පිටුපස සිටින්නේ ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය බව මහේෂිනී විසින් මංගල සමරවීර මහතාට ප්‍රකාශ කර ඇති අතර ඇය ඒ සම්බන්ධයෙන් සමරවීර මහතා තුළ දැඩි විශ්වාසයක් ඇතිකර තිබේ. 
 
මහේෂිනී තමාට අයත් අංශවල නිළධාරීන්ට ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය විදේශීය පුහුණු වැඩසටහන් සඳහා සහභාගිවීමට අවශ්‍ය අනුමැති නොදුන් අතර ඒ නිසා ඇය යටතේ සේවය කළ නිළධාරීන් විශාල ප්‍රමාණයකට වෘත්තීය සුදුසුකම් වැඩිදියුණු කරගැනීමේ අවස්ථාව අහිමි වූ අතර ඒ නිසා ඔවුන්ට උසස්වීම් ලබාගැනීමේ අවස්ථාවද අහිමි වී තිබේ. මෙම පුහුණු වැඩසටහන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විවිධ ජාත්‍යන්තර ආයතන විසින් සංවිධානය කරන අතර ඔවුන් ඒවාට අවශ්‍ය ශිෂ්‍යත්ව හා අරමුදල් සපයයි. මේ තුළින් විදේශ රටවල් සමග සබඳතා පැවැත්වීමේ වැදගත්කම සම්බන්ධයෙන් අවබෝධයක් ලැබෙන අතර විදේශ තානාපතිවරුන් හමුවී ඔවුන්ගේ අත්දැකීම් බෙදාගැනීමේ අවස්ථාවද හිමිවේ. මේ සියල්ල මහේෂිනීගේ අනුමැතිය නොලැබීම නිසා ඔවුන්ට අහිමි වූ අතර මෙයට හේතු වී ඇත්තේ මහේෂිනී සෙසු නිළධාරීන් පිළිබඳව වෘත්තීය ඊර්ෂ්‍යාවෙන් කටයුතු කිරීමයි.
 
මහේෂිනී කොළොන්නේ බුද්ධිමය දේපල සොරකම් කිරීම සම්බන්ධයෙන් ද විදේශ සේවාව තුළ කුප්‍රකට නමක් දිනාගෙන සිටී. ඇය වෙනත් නිළධාරීන් සහ රේඛීය ආයතන විසින් මහත් කැපවීමෙන් රැස් කරගන්නා තොරතුරු සහ දත්ත ඇයගේ භාරයට ගෙන විදේශ ඇමතිවරයා සහ උසස් නිළධාරීන් වෙන තමාගේ තොරතුරු ලෙස ඉදිරිපත් කරයි. එහෙත් වෙනත් නිළධාරීන්ට අත්‍යවශ්‍ය තොරතුරක් පවා ඇයගෙන් තොරතුරු ලබාගැනීම ඉතා දුෂ්කර වී තිබේ. මේ හේතුව නිසා විෂයභාර අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යංශය තුළ රහස්‍ය හා සංවේදී තොරතුරු නොමැති බවටත් සියලු දෙනා තොරතුරු හුවමාරු කරගත යුතු බවටත් නියෝගයක් ද නිකුත් කළේය. 
 
මේ වනවිට මහේෂිනී විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ඇමතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙසද කටයුතු කරන අතර ඇය පසුගිය රජයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් දේශපාලනඥයෙකු මෙන් ප්‍රකාශ නිකුත් කළාය. එය රජයේ සේවකයන් සතු නිර්පාක්ෂික හා අපක්ෂපාතී හැසිරීම සම්බන්ධ ආචාර ධර්ම කඩකිරීමක් බව පැහැදිලිය. මහේෂිනී මේ අයුරෙන් කටයුතු කරන්නේ සෙසු නිළධාරීන්ට වඩා තමන් ඇමතිවරයාට සමීප බව පෙන්වමින් ළකුණු දමා ගැනීමටයි. කෙසේ වුවද මහින්ද රාජපක්ෂ කුමන ආකාරයකින් හෝ හෙට දිනයේ බලපට පත්වුවහොත් මහේෂිනී කොළොන්නේ නැවත අංශක 180 කින් කරකැවී රාජපක්ෂවරුන්ට අවශ්‍ය පරිදි කටයුතු කරනු නොඅනුමාන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් පවසයි. විදේශ ඇමති මංගල සමරවීර මහතා දැනුවත්ව හෝ නොදැනුවත්ව තමා සමීපයට ගෙන ඇත්තේ කාල බෝම්බයකි. ඔහු මහේෂිනී කොළොන්නේ යනු කවරෙක්ද යන්න හඳුනා නොගතහොත් ඔහුගේ දේශපාලන අනාගතය සහ ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් නුදුරේදීම ඇතිවනු නියතය. අපි ඔබට සුබ පතමු. විදේශ කටයුතු ඇමතිතුමනි, ඔබට සුබ අනාගතයක් !
 

 

 

 

අති විශේෂ