23 July 2018
RSS Facebook Twitter   

සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව

 

CT
අද උදේ මගේ යාලුවෙන් මුහුණු පොතේ පල උන ලිපියක් මට ඒවා තිබුනා පුලුවන්නම් බොලොග් එකේ පල කරන්න කියලා .එය ලියා තිබුනේ "ගනුෂ්ක රන්දුල" නමැති සොඳුරු තරුණයෙක් .මටත් රටක් රාජ්‍යක් පහල උනා වාගේ ඒ විස්තර ටික දැක්කම .ඒ තමයි අපි හැමෝගෙම කැමතිම ගායකයෙක් වන සි ටි ප්‍රනාන්දු මහත්තයා .ඔහුගේ 94 වන උපන් දින සමරුව වෙනුවෙන් තමයි මේක ලියලා තියෙන්නේ . ඒ නිසා හැමෝටම කියවන්න මම ඒ ලිපිය මෙතැන පල කරනවා. ගනුෂ්ක රන්දුලට බෝභෝමත්ම ස්තුති කරනවා මෙය පලකිරීමට එකඟ වීම ගැන ........
------------------------------------------------------------------------------

සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව

(සී. ටී. ප්‍රනාන්දු ගේ 94 වැනි උපත් සමරුව 2015 ජනවාරි 28 වැනි දාට යෙදේ. මේ සටහන ඒ නිමිත්තෙනි.)
එක් දහස් නවසිය හතළිස් ගණන්වල අග භාගය වන විට සිංහල ගීත සාහිත්‍යයේ කැපී-පෙනෙන ප්‍රවණතා කිහිපයක් දක්නට තිබිණි. එක් අතෙක සිරිසේන විමලවීර, හියුබට් රාජපක්‍ෂ ආදින් ගේ නුර්ති, ටීටර් ගී සම්ප්‍රදායය පැවැතිණි. තවත් අතෙක ආනන්ද සමරකෝන්, එච්. ඩබ්ලිව්. රූපසිංහ ආදින් ගේ ශාස්ත්‍රීය ගීත සම්ප්‍රදායය පැවැතිණි. ඒ හැමට ම වෙනස් අතෙක වොලී බැස්ටියන්, ජස්ටින් ප්‍රනාන්දු ආදින් ගේ බයිලා ගීත සම්ප්‍රදායය පැවැතිණි. මේ සියල්ලට අමතර ව සිංහල සිනමාවේ ප්‍රභවයත් සමඟ දක්ෂිණ භාරතීය හා උත්තර භාරතීය අනුකාරක ගීත සම්ප්‍රදායයක් ද මෙ වක බිහි විය. බටහිර සංගීතය යනු හුදු බයිලාව යැ යි සමාජගත ව පැවැති දුර්මතය උඩු යටිකුරු කළ සිරිල් ටියුඩර් ප්‍රනාන්දු හෙවත් සී. ටී. ප්‍රනාන්දු ගේ ආගමනය සිදු වූයේ මෙ වන් මියැසි පසුබිමක් පැවැති 1947 වසරේ දී ය.

සී. ටී. ගුවන් විදිලි ගායකයකු ලෙස ගැයූ පළමු ගීය 1947 දී ගැයූ “සවස් කල ඇලේ හමන මඳ නලේ” නම් වූ බව මහාචාර්ය සුනිල් ආරියරත්න පවසයි. එහෙත් ඔහුට ජනප්‍රියතාව ගෙන ඒමට සමත් වූයේ ඒ වසරේ දී ම රීටා ජෙනිවිව් ප්‍රනාන්දු (ලතා වල්පොළ) සමඟ ගැයූ “පින් සිදු වන්නේ අනේ බාල ළමුන්නේ” ගීය යි. ඒ ගීය රචනා කරන ලද්දේ සී.ටී. වෙනුවෙන් පමණක් ගී ලියූ ආර්. එන්. එච්. පෙරේරා විසිනි. වෘත්තියෙන් පාසල් ගුරුවරයකු වූ ආර්. එන්. එච්. වූකලී සී. ටී. ගේ සමීප ඥාතියෙකි. ඔහු ලියූ ගී පදවල අපූර්වත්වය, සෞන්දර්යාත්මක භාවය හා සරල බව නොමඳ ව පිරී තිබිණි. “පින් සිදු වන්නේ අනේ බාල ළමුන්නේ” පමණක් වුව ද මේ සඳහා ප්‍රමාණවත් නිදසුනෙකි. අද පවා පාසල්හි භාවිත කැරෙන සිවු වැනි ශ්‍රේණියේ සිංහල පෙළ පොතෙහි මේ ගීතය ඇතුළත් කොට ඇත්තේ එහි ඇති මෙ කී විශිෂ්ටතාව නිසා ය. සී. ටී. වෙනුවෙන් ආර්. එන්. එච්. ලියූ “සුවඳ රෝස මල් නෙළා”, “අම්බිලි මාමේ”, “පින් සිදු වන්නේ” වැනි සෙසු ළමා ගීවල ද මේ විශිෂ්ටතා ලක්‍ෂණ නොමඳ ව ගප් වී තිබේ. තුරුණු වියේ දී ළමා ගී ගැයූ ගායකයකු බවට සී. ටී. පත් වූයේ බෙහෙවින් ම ආර්. එන්. එච්. ගේ පද රචනාවල බලපෑම නිසා ය. අද වුව ද වැඩි ම ළමා ගී සංඛ්‍යාවක් ගැයූ වැඩිහිටි ගායකයා වනුයේ සී. ටී. ය. ගුවන් විදිලියේ ‘ළමා පිටියෙන්’ හෝ ‘සරස්වතී මණ්ඩපයෙන්’ හෝ බිහි වූ ළමා ගායකයෙක් නම් ළමා ගී ගැයීමේ අරුමයක් නැත. එහෙත් තුරුණු වියේ දී විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පියකු බවට පත් වූවකු ළමා ගී වෙත ආසක්ත වීම විශේෂත්වයෙකි. සිංහල ළමා ගීයට සී. ටී. ගෙන් සිදු වූ සම්ප්‍රදානය මෙ තෙක් ප්‍රාමාණික අධ්‍යයනයකයට පාත්‍ර වී නැත. මේ සී. ටී. ගේ ගීත සාහිත්‍යයේ එක් පැතිකඩකි.

සී. ටී. ගේ ගීවල පැවැත්තේ ඔහු විසින් ම නිර්මාණය කරන ලද මනහර ස්වතන්ත්‍ර බටහිර තනු ය. ඔහු ගැයූ චිත්‍රපට ගීත හැරුණු කොට සෙසු සියලු ගීවල තනු නිර්මාණය සී. ටී. ගේ විය. මුල් දසකයේ ඔහු ගැයූ ගීවල සංගීත සංයෝජනය කෙළේ බී. ඇස්. පෙරේරා වුව ද පාසල් සමයයේ පටන් සී. ටී. ගේ මිතුරකු වූ පැට්රික් දෙනිපිටිය නොබෝ කලෙකින් ම ඔහු ගේ තනු සඳහා සංගීත සංයෝජනයෙන් දායක විය. සී. ටී. - පැට්රික් සුසංයෝගයෙන් බිහි වූයේ ඉන් පෙර සිංහල ගී රසිකයාට අසන්නට නො ලැබුණු ආකාරයේ බටහිර ඌරුවක් ඇති ගීත ය. එ වක සිංහල ගීත ක්‍ෂේත්‍රය තුළ අනුකාරක ගී රැල්ල බෝ වන රෝගයක් මෙන් පැතිරෙමින් තුබුණ ද සී. ටී. බටහිර ගී තනුවලට වචන ඔබා ගැයුවේ නැත. ඔහු ගේ සියලු ගීවල තුබුණේ ස්වතන්ත්‍ර තනු ය. මේ නවමු බටහිර තනුවලට බෙහෙවින් ම ආකර්ෂණය වූයේ එ වක ඉංගිරිසි ගී ඇසීමට ඇබ්බැහි වී සිටි කුරුඳුවත්තේ බංගලාවල වුසූ පැලැන්තිය යි. ඒ අනුව අගනුවර ධනපති පංක්තිය වෙත සිංහල ගීතය ගෙන යෑමේ ගෞරවය සී. ටී. වෙත හිමි වේ. ඔවුන් වෙත සිංහල ගීය ගෙන යෑමෙන් සී. ටී. හට සැලැසුණේ සුළුපටු ප්‍රතිලාභයක් නො වේ. සති අන්තයේ දී ගාලු මුවදොර හෝටලයේ (Galle Face Hotel) සහ ගල්කිස්සේ මහ හෝටලයේ (Mt. Lavinia Hotel) පැවැති සාද සම්භාෂණ ආදියෙහි ගී ගැයීමට සී.ටී. හට නිතොර ඇරියුම් ලැබිණි. එක් දහස් නවසිය හැට ගණන්වල සති අන්තයක සී. ටී. මේ හෝටලයෙක ගී ගයනු දැක-ගත නොහැකි වී නම් ඒ ඉතා කලාතුරෙකිනි.

CTFernando

සී. ටී. ගේ ගායනයට වසඟ වූයේ මෙ රට රසිකයන් පමණක් නො වේ. ඉහත කී අගනුවර සුපිරි හෝටල් සහ ‘කැංඩි ලේක් ක්ලබ්’ (Kandy Lake Club) කේන්ද්‍ර කොට-ගෙන සී. ටී. හට ඉංගිරිසි ජාතික රසික පර්ෂදයක් ද බිහි විණි. 1967 – 1968 සමයයෙහි ‘ලකී සෙවන්’ දුම්වැටි සමාගමයේ අනුග්‍රහයෙන් ගුවන් විදිලියේ ඉංගිරිසි සේවයේ විකාශය වූ ‘ලකී සෙවන් ෂෝ’ (Lucky Seven Show) නම් සංගීත වැඩසටහනට සී. ටී. ගේ සිංහල ගීත ඇතුළත් වූයේ ඒ වන විට ඔහුට එතරම් ඉංගිරිසි භාෂක රසිකයන් සිටි බැවිනි. ඉංගිරිසි ජාතිකයන් සී. ටී. ගේ මනමෝහනීය හඬට කොතරම් වසඟ වූවා ද යත් සී. ටී. හඬට ඇලුම් කළ මැඩම් ඩෙල්ගාඩෝ නම් යුරෝපීය ඔපෙරා ගායිකාව 1969 දී ඔහුට ලංඩනයේ ප්‍රසංගයක්‌ පැවැත්වීම සඳහා ආරාධනා කළා ය. ඒ අනුව විදේශයෙක සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වූ මුල් ම ශ්‍රී ලාංකික ගායකයා වූයේ සී.ටී. ය. 1969 ජූනි 24 වැනි දා ලංඩන් නුවර පොදු රාජ්‍ය මණ්‌ඩල ශාලාවේ දී යුරෝපීයයන් වෙනුවෙන් සිංහල ගීත ගැයූ සී.ටී. ප්‍රනාන්දු “රන් හඬ” (The Golden Voice) සම්මානයෙන් ද පිදුම් ලැබී ය. පසු දා සී. ටී. හා පැට්රික් දෙනිපිටිය බී. බී. සී. ගුවන් විදිලි සේවයේ සජීව සම්මුඛ සාකච්ඡාවකට ද සහභාගී වූ හ. එ දා ඒ පිළිසඳර මෙහෙයැවූයේ එ වක ‘බී. බී. සී. සන්දේශයේ’ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ද මැල් ය. සිංහල සේවය අනුයමින් බී. බී. සී. ලෝක සේවයේ වෙනත් විදේශ සේවාවන් ද එ සේ සී. ටී. හා සංවාද පවත්වා විකාශය කොට තිබේ.

නාවලපිටියේ ශාන්ත මේරි දේවස්ථානයේ කන්තාරු ගැයීමෙන් ගායනයෙහි බුහුටිකම් ලත් සී. ටී. ගේ සවන්හි ලැගුම් ගෙන තුබුණේ බටහිර නාද රටා ය. එ බැවින් ඔහු ගේ තනු රචනාවලින් දේශීය නාද මාලා අපේක්‍ෂා කරනු උගහට ය. සී. ටී. ගේ නිර්මාණවලින් දක්නට ලැබුණේ බටහිර ජනප්‍රිය ගීත ආකෘතින්හි ආභාසය යි. සී. ටී ගේ ගීතවලට හා ඉදිරි පත් කිරීමේ ශෛලියට නැට් කිංකෝල් නම් ඉංගිරිසි ගායකයා ගේ ආභාසය ලැබී ඇති බව නදීක ගුරුගේ පෙන්වා-දෙයි. ඔහු ගේ “සැළලිහිණි කොවුල් හඬ” ගීයෙන් “There’s a tavern in the town” නම් ඉංගිරිසි ගීයේ යම් ප්‍රතිරාවයක් ඇසෙන බව වරක් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සඳහන් කොට තිබේ. යනීනා නම් පෝලන්ත ගායිකාව 70 දසකයේ දී තැටිගත කළ ගීයක ආභාසයක් සී. ටී. ගේ “බේරෙන පැණි බිඳු රතු මී වද බඳු” ගීයේ තනුවෙන් පිළිබිඹු වන බව මහාචාර්ය සුනිල් ආරියරත්න දක්වයි. එ මෙන් ම සී. ටී. ගේ “සීගිරි සුකුමාලියේ” ගීය බොසානෝවා රිද්මයෙන් (Bosanova Rhythm) ලංකාවේ බිහි වූ පළමු ගීය ලෙස සැලැකේ. ඔහු ගේ “රන්වන් රන් කෙඳි පීරලා” ගීය සිංහල ගීත සාහිත්‍යයේ මුල් ම රොක් ඇන් රෝල් (Rock & Roll) ගීතයකි. එ මතු නො ව, සී. ටී. ගේ ගීතවලින් ස්පාඤ්ඤ ගීත සම්ප්‍රදායයේ පැහැදිලි ආභාසයක් දැකිය හැකි බව බී. බී. සී. මාධ්‍යවේදී ජෝන් මයර්ස් (John Myers) සඳහන් කැරැ තිබේ.

නොයෙක් බටහිර සංගීත සම්ප්‍රදායයනට අනුගත සිංහල ගීත නිර්මාණ බිහි කිරීමට අමතර ව බටහිර පන්නයේ ගායනාලංකාර සිංහල ගීත නිර්මාණවල යෙදීමෙන් රස ජනනය කිරීම ද සී. ටී. උත්සුක වී තිබේ. රීටා ජෙනිවිව් ප්‍රනාන්දු (ලතා වල්පොළ) ඇතුළු පිරිසක් සමඟ ඔහු ගැයූ ජනප්‍රිය කිතු බැති ගීයක් වන “රෑ තරු බබළනවා” ගීයෙහි හඬ ප්‍රතිරාවය හා අධිප්ලුතිය (Echoing and Overlapping) නම් බටහිර ගායනාලංකාර යොදා-ගෙන තිබේ. එ මෙන් ම යුග ගීයක් නො වන “අපි ඇවිදිමු හඳ පානේ” ගීයෙහි අන්තරා කණ්ඩයෙහි (Interlude) පමණක් කාන්තා හඬක් සුසංගතිය (Harmony) හා ගූමනය (Humming) පිණිස යොදා-ගෙන තිබේ. මේ සී. ටී. ගේ සංගීත විෂයක අත්හදාබැලීම් ය.

සී. ටී. හට පූර්වයෙහි සිංහල ගීයට බටහිර ලක්ෂණ මුසු කිරීමට ප්‍රමුඛ වූවන් අතර මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, පී. ඩී. වින්සන්ට් පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන ආදිහු වෙති. එහෙත් සිංහල ගීත සාහිත්‍යයේ බයිලා නො වන බටහිර ගී ආරක් බිහි කිරීමට ප්‍රමුඛ වූයේ මෙ ලෙස බටහිර සංගීත සම්ප්‍රදායයන් හා ගායනාලංකාරයන් සිංහල ගීතයට හඳුන්වා-දුන් සී. ටී. ය. ඔහු ගේ ප්‍රමුඛත්වයෙන් බිහි වූ මේ ගීත සම්ප්‍රදායය සිංහල ජනප්‍රිය ගීත (Sinhalese Pop) යනුවෙන් හඳුන්වන ලද්දේ එවක ගී තැටි නිෂ්පාදකයකු වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය විසිනි.

ජනප්‍රිය ගීත සම්ප්‍රදායයේ අවශ්‍ය අංගයක් වන ප්‍රාසංගිකත්වය පිළිබඳ ව පර්යේෂණ කළ අයකු ලෙස ද සී. ටී. හඳුනා-ගත හැකි ය. ඊට හොඳ ම නිදසුන ඔහු ගැයූ “පරවුණු මල් නැවැත නැතේ පිපෙන්නේ” ගීය යි. එහි මුල් තැටිගත කිරීම ම සජීවී සංගීත ප්‍රසංගයෙක දී ගැයුණු ගීයක ස්වරූපය ගනී. ගීතය අතරතුර ප්‍රසංග වේදිකාවෙක උද්දාමයෙන් හඬ නඟන්නවුන් ගේ නොයෙක් කෑ ගැසීම් ඇසේ. මේ වනාහි මින් පෙර කිසිවකු ගේ ගීයක දක්නට නො ලැබුණු ලක්ෂණයෙකි. එ වක පැවැති අවම ශිල්පීය පහසුකම් භාවිතයෙන් මෙ වැනි අත්හදා බැලීමක් කිරීම ප්‍රශංසනීය වේ. සී. ටී. ගේ සජීවී ගායනයේ තුබූ ප්‍රාසංගිකත්වය හා එ වක ඔහුට තුබූ ජනප්‍රියතාව කෙතෙක් ද යත් ඔහු ගේ සංගීත ප්‍රසංග බැලීම සඳහා ප්‍රසංග ශාලාවන්හි දොරජනෙල් කඩා-ගෙන ජන ගඟ ගැලූ අවස්ථා ඕනෑ තරම් පැවැති බව ඔහු ගේ රසිකයෝ අදත් සිහි කෙරෙති.

එ කල ජනප්‍රියත්වයේ මුදුන් ඉමෙහි සිටි සී. ටී ගේ ජනප්‍රිය සංගීත අනන්‍යතාව ගුරු කොට-ගෙන නිර්මාණ කරණයට අවතීර්ණ වූ ශිල්පීහු බොහෝ වූ හ. ඒ අතර සිංහල කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියා වූ ක්ලැරන්ස් විජේවර්ධන කැපී-පෙනේ. ‘ලොස් කැබරලොස්’ නම් කැලිප්සෝ සංගීත කණ්ඩායමේ නායකයා වූ නෙවිල් ප්‍රනාන්දු ද ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූයේ සී. ටී. ගේ ගී ගයමිනි. ඔහු කලක් තිස්සේ අඛණ්ඩ ව සී. ටී. ගේ ගී ගැයූ නිසා වෘත්තීය ගායකයකු වූ සී. ටී. අපහසුතාවට පත් වූ අතර නෙවිල් ප්‍රනාන්දු ස්වතන්ත්‍ර ගීත ගැයීමට පෙලැඹූ ප්‍රධාන සාධකයක් වූයේ ද මේ අරබයා සී. ටී. ගෙන් එල්ල වූ විරෝධය යි. කෙසේ නමුත් ක්‍රිස්ටෝපර් පෝල්, සී. ඩී. ෆොන්සේකා (ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිලා), කාන්ති වක්වැල්ල (දුර පෙනෙන තැනිතලා), සිඩ්නි ආටිගල (පැලේ වසන රන්මලී), රෝහිත ජයසිංහ (සෝබන සැන්දෑවේ සීතල මඳ පවනේ) යන ශිල්පීන් පෙරට ගෙන ගියේ සී. ටී. බිහි කළ සිංහල පොප් ගී ආර බව ඔවුන් ගේ නිර්මාණ විමසා බැලූ කල පෙනේ. පාසල් වියේ දී සී. ටී. ගේ ගී ගායනා කළ විජය කුමාරතුංග ගේ “රෝස සිහිනයේ සිනා රේඛා” ගීයෙන් සී. ටී. හඬේ ඡායාවක් ඇසෙන බවත් ජිප්සීස් සුනිල් පෙරේරා ගේ බොහෝ මුල් නිර්මාණ සී. ටී. ගේ ආභාසය පිළිබිඹු වන බවත් සුනිල් මිහිඳුකුල පෙන්වා-දෙයි. මේ අනුව සී. ටී. හුදු ගායකයකු ලෙස ලඝු කළ හැකි නො වේ. ඔහු සිංහල ගීත සාහිත්‍යයේ යුග කාරක පුරුෂයෙකි.

සී. ටී. ගේ ගීත ජනාදරයට පාත්‍ර වීමට ප්‍රධාන හේතුවක් වූයේ ඒවාහි සරල පදමාලාව හා මධුර සංගීත සංයෝජනය යි. ඒ වන විට සිංහල ගීත සාහිත්‍යය ගිල-ගෙන පැවැති සංස්කෘත පද බහුල යාන්ත්‍රික භාෂාවකින් ලියැවුණු පද මාලා වෙනුවට සී. ටී. තෝරා-ගත්තේ ඉතා සෞම්‍ය වාංමාලාවකින් සෞම්‍ය අනුභූතීන් ප්‍රතිනිර්මාණය කැරෙන පද මාලා බව පෙනේ. “කිම ද සුමිහිරියේ”, “ආනෙ ඩිංගක් ඉන්න කෝ”, “බේරෙන පැණි බිඳු”, “ලෝ අඩ නින්දේ”, “දවස ගෙවී දැන් ටික ටික” ආදි බොහෝ පද මාලා මීට නිදසුන් කොට පෙළ ගැස්විය හැකි ය. සුනිල් සාන්ත හැරුණු කොට ඒ වන විට හෙළ ගීයේ හද බස වටහා-ගෙන සිටි ශිල්පීන් කිහිප දෙනා ගෙන් අයකු ලෙස සී. ටී. හැඳින්වීම සාධාරණ ය. මේ සී. ටී. ගේ ගීත සාහිත්‍යයේ තවත් පැතිකඩකි.
සී. ටී. ගැයූ බොහෝ ගී ආනුභුතික හා ආකෘතික නව්‍යතාවෙන් ද අනූන විය. එ නම් වස්තු විෂයය හා ඉදිරි පත් කිරීම අතින් ඔහු ගේ බොහෝ නිර්මාණවල අපූර්වත්වය නොමඳ ව ගප් වී තිබිණි. “කැලෑ මල නො වේ”, “සරුංගලේ සරුංගලේ”, “මා බාල කාලේ”, “රෑ පැල් රැකලා”, “අපි ඇවිදිමු හඳ පානේ” වැනි ගීත ඊට පොදුවේ නිදසුන් කළ හැකි ය. ඊට අමතර ව තම ජීවිතයේ සමීපතමයන් හා එදිනෙදා සමාජයේ නිතොර හමු වන පුද්ගල චරිත පිළිබඳ ව ගැයීම ද සී. ටී. ගේ විශේෂත්වයෙකි. “සමන් කැකුළු අතුරලා” ගීය සී. ටී. ගැයුවේ පිය බිරිය වූ ධනවතී වෙනුවෙනි. “බිළිඳා නැළැවේ” ගීය ඔහු ගැයුවේ ඔහු ගේ එක ම පුතු වූ ප්‍රියන්ත වෙනුවෙනි. උක්ත ගීත ද්වයයෙහි අන්තර්ගත මුදු හැඟුම් හා සිලිටි බස් වහර නිසා එ වක මේ ගීත නොමඳ විචාරක අවධානය දිනී ය. අනෙක් අතට සැමියකු ගේ දෘෂ්ටියෙන් බිරිය ගැනත් පියකු ගේ දෘෂ්ටියෙන් බිළිඳු පුතු ගැනත් ගැයුණු ගී හැටේ දසකයට පෙර සිංහල ගීත සාහිත්‍යයේ කොපමණ තිබිණි දැ යි සොයා බැලිය යුතු ය. එසේ ම සී. ටී. “මගෙ සුදු මාමේ” ගීයෙන් ගැයුවේ රා මදින්නකු ගැන ය; “බරබාගේ” ගීයෙන් ගැයුවේ ගැල්කරුවකු ගැන ය; “එළවළු පලා කියා” ගීයෙන් ගැයුවේ එළවළු වෙළෙන්දියක ගැන ය. මේ ගී තුන ම බටහිර සංගීතය මුසු නිර්මාණ වුව ද ඇරැඹෙන්නේ සීපද ගායනාවලින් වීම විශේෂත්වයෙකි. ගැමි සුන්දරත්වය හා ගැමි චරිත පිළිබඳ ව ගැයුණු මෙ වැනි ඇතැම් ගීවල ඇත්තේ නාගරිකයකු ගම දෙස හෙළන දෘෂ්ටියක් බව බොහෝ විචාරකයන් ගේ මතයෙකි.

හැටේ දසකයේ දී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම ගායකයකු වූ නමුත් සී. ටී. ගීත දහස් ගණනක් ගැයූ ශිල්පියෙක් නො වී ය. ඔහු ගැයූ ගීත සංඛ්‍යාව එකසිය හැත්තෑ පහ (175) නො ඉක්මවයි. ඒ අතුරින් “මී අඹ වනයේ”, “මී වදයකි ජීවිතේ”, “ලක්‍ෂ ගණන් වස්තු ලැබී”, “ඈත කඳු රැලි”, “හිමේ සමන් දෙවි පිහිටෙන්”, “සෝබන ලු කොළඹ”, “ළා තණ නිල්ල යි”, “නිසයුරු මුතු වැල්”, “අසරණයා දුගී” වැනි ගීත දොළොසක් (12) පමණ චිත්‍රපට ගීත විය. සී. ටී. ගේ ගී ගොනුවේ දේශාභිමානී ගීත, කිතු බැති ගීත, මවු ගුණ ගීත, ප්‍රේම ගීත, ළමා ගීත, විනෝද ගීත, ආදි හැම ආරක ම ගීත දැක්ක හැකි ය. ඔහු නො ගැයුවේ බුදු ගුණ ගී සහ විරහ ගී පමණි. බෞද්ධයකු නො වූ සී. ටී. බුදු ගුණ නො ගැයීම ගැන විස්මයයට පත් වන්නට දෙයක් නැත. එහෙත් ඔහු විරහ ගී නො ගැයුවේ ඔහු ගේ සෞන්දර්යවාදී ජීවන දර්ශනය හා එවැනි අනුභූතීන් නො පෑහුණු නිසා බව කිය හැකි ය. ඔහු ගැයූ “මී වදයකි ජීවිතේ”, “පරවුණු මල් නැවැත නැතේ පිපෙන්නේ”, “අවදි වන්න අවදි වන්න”, “අද ද ඊයෙ වාගෙම සන්තොසින් ගෙවේ වා”, “රන මොනරයි රන මොනරියි විලාසේ” වැනි ගීතවලින් පිළිබිඹු වන්නේ ඔහු ජීවිතයේ සුන්දරත්වය උපරිමයෙන් ආස්වාදය කළ එපිකියුරියානුවකු (Epicurean) වූ බව යි. ජීවිතයේ දුඃඛ පක්‍ෂය බදා-ගෙන විස්සෝප වීම සී. ටී. ගේ ජීවන දර්ශනය නො වූ බව මේ ගීත කිහිපයෙහි පදමාලා පිරික්සීමෙන් පැහැදිලි වේ.

ගුවන් විදිලියෙන් සරල ගී ගායනයට පිවිසි සී. ටී. 1951 වසරේ පටන් ‘හිස් මාස්ටර්ස් වොයිස්’ (HMV), ‘ෆිලිප්ස්’ (Phillips), ‘ජෙම් ටෝන්’ (Gem Tone), ‘කොළොම්බියා’ (Colombia), ‘සූරිය’ (Sooriya), ‘සිල්වර් ලයින්’ (Silver Line) වැනි තැටි සමාගම් වෙතින් තම ගීත තැටි නිකුත් කෙළේ ය. එක් දහස් නවසිය හැත්තෑ ගණන්වල අග ‘ප්‍රියන්ත’ නාමයෙන් ද ඔහු ස්වකීය ගී තැටි කිහිපයක් නිෂ්පාදනය කොට තිබේ. මීට අමතර ව ‘සී. ටී. හඬ - 1’, ‘සී.ටී. හඬ - 2’, ‘සුවඳ රෝසමල්’ යනුවෙන් ස්වකීය ගීතවල පදමාලා රැගත් පොත් කීපයක් ම සී. ටී. විසින් පළ කොට තිබේ. ‘සී. ටී. හඬ - 1’ ගීත සංග්‍රහයට ප්‍රස්තාවනාව සැපැයූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එහි ලා සී. ටී. හඳුන්වනුයේ ‘වර්තමාන සිංහල සංගීතය නැංවීමට උපකාර වූවන් අතර ප්‍රමුඛ ස්ථානයක් දරන්නකු’ ලෙසිනි. සී. ටී. ගේ රුව කිසි දා පුඤ්චි තිරයට නො නැඟුණේ මෙ රට රූපවාහිනී මාධ්‍යයේ ආගමනයට පළමු ව ඔහු මෙලෝ හැර ගිය බැවිනි. එ බැවින් සී. ටී. ගේ රුව දැක-ගත හැක්කේ ඔහු සුළු චරිත රැඟූ ‘දෙයියන්නෙ රටේ’, ‘ගම්පෙරළිය’, ‘පාරා වළලු’ යන චිත්‍රපට කිහිපයෙන් පමණි.

අපමණ ජනාදරයට පාත්‍ර වූ ගායන ශිල්පියකු වුව ද සී. ටී. හට ක්‍ෂේත්‍රය තුළ අඩන්තේට්ටම් හා කෙණෙහෙළිකම් අතින් අඩුවක් තුබුණේ නැත. මුලින් ම සී. ටී. ප්‍රබුද්ධයන් ගේ ගර්හාවට ලක් වූයේ ඔහු ගේ උච්චාරණය නිසා ය. ඇතැම් සිංහල වදන් සී. ටී. හට උච්චාරණය වූයේ අසිංහල විලාසයකිනි. මෙය සී. ටී. හිතාමතා කළ වැඩක් නො වේ. ඔහු ගේ දත් දෙපෙළෙහි පිහිටීමත් ඉංගිරිසි උච්චාරණයෙන් ලත් ආභාසයත් නිසා අ, ඔ වැනි ස්වර ශබ්දත් ච, ජ, ස, ත, ද වැනි ව්‍යඤ්ජන ශබ්දත් ඔහුට උච්චාරණය වූයේ ඉංගිරිසි භාෂකයකුට මෙනි. මෙය ඇතැම් විචාරකයන් ගේ බරපතළ දෝෂ දර්ශනයට ලක් විය. එහෙත් එවක මොහිදීන් බෙග් “ටිකිරි මෙණිකෙ එම්බුල ගෙනල්ලා” යි ගයන විට නිහඬ ව පසු වූ ගුවන් විදිලියේ ප්‍රබුද්ධයන් සී. ටී. ගේ උච්චාරණය ගැන පමණක් කිපී ගෝරනාඩු කිරීම මධ්‍යස්ථ විචාරකයකු වූ ආචාර්ය තිස්ස අබේසේකර ගේ ඉමහත් විවේචනයට ලක් විය.

1977 දී හෘදයාබාධයක් වැළැඳී සී. ටී. මිය ගිය ද ඊට සිවු වසරකට පෙර 1973 දී ඔහු මානසික ව මරා දැම්මේ ගුවන් විදිලිය බව සුනිල් මිහිඳුකුල අවධාරණයෙන් පවසයි. ඒ වසරේ ගුවන් විදිලි ගායක ගායිකාවන් ශ්‍රේණිගත කිරීම සඳහා පැවැති කටහඬ පරීක්‍ෂණයෙන් සී. ටී. විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු බවට පත් වූයේ නැත. එ දා පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සුනිල් සාන්ත, ඩබ්ලිව්. ඩී. අමරදේව, එච්. ඩබ්ලිව්. රූපසිංහ යන තිදෙනා අතරින් සුනිල් සාන්ත හැරුණු කොට අනෙක් දෙදෙනා ගේ ම මතය වූයේ, පෙරදිග සංගීතයේ තානාලංකාර ගැයීම අතින් සී. ටී. දුර්වල බව යි. ඔහු විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු ලෙස ශ්‍රේණිගත නො කිරීමට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ මෙය යි. මේ තීරණයට විරුද්ධ වූ සුනිල් සාන්ත කියා සිටියේ, යම් කටහඬක ගායන ශක්තිය තීරණය කිරීමේ දී ඒ ගායකයාට පුරුදු ගායන සම්ප්‍රදායය අනුව කරන ලද ගායනයක් අනුව වර්ගීකරණය කළ යුතු බව යි. සී. ටී. හට සිදු වූ අසාධාරණය පිළිබඳ ව කතා කළ සුනිල් සාන්ත මෙසේ ද කියා තිබේ: “අප ගේ කාර්යභාරය සම්ප්‍රදායයක් පිළිබඳ ප්‍රශ්නයක් නො ව ගායන හැකියාවක් පිළිබඳ ප්‍රශ්නයකි. සංගීතය නිල වසයෙන් කිසි යම් සම්ප්‍රදායයකට සීමා කළ නොහැකි ය. එ සේ කිරීම අසාධාරණයකි.” වරක් සී. ටී. ගැන ලිපියක් ලියූ ආචාර්ය තිස්ස අබේසේකර මේ සිද්ධිය මොනොවට විස්තර කොට ඇතැ යි සුනිල් මිහිඳුකුල වැඩි දුරටත් සඳහන් කරයි.

ජීවමාන ව සිටිය දී ම මෙතරම් අසාධාරණයට ලක් වූ සී. ටී. අභාවප්‍රාප්ත වූ පසු වත් නිසි ඇගැයුමකට හෝ හැදෑරුමකට හෝ විෂයය නො වූ බව අප ගේ නිරීක්‍ෂණය යි. සී. ටී. වූකලී සිංහල ගීත සාහිත්‍යයේ නව ආරක් බිහි කළ ශිල්පියෙකි; ළමා ගී සාහිත්‍යය සුපෝෂණය කළ වැඩිහිටියෙකි; ගීයේ හද බස සොයා ගිය රසවතෙකි; සංගීත විෂයයෙහි නව අත්හදාබැලීම් කළ පර්යේෂකයෙකි; සිංහල ගීය අන්තර්ජාතිකයට ගෙන ගිය දේශාටකයෙකි. එ මතු නො ව 1952 දී එංගලන්තයේ විණ්ඩ්සර් මාළිගයේ පැවැති එළිසබෙත් රැජිනිය ගේ මෞලි මංගල්‍යයේ දී ගීත ගැයූ සිංහල ගායකයා වූයේ ද සී. ටී. බව බොහෝ දෙනා නො දනිති. මෙ වන් අද්විතීය ශිල්පියකු වූ සී. ටී. ගේ වියෝවින් පසු තිස් පස් වසරක් තිස්සේ සී. ටී. පුත්‍ර ප්‍රියන්ත ප්‍රනාන්දුට දිවයින පුරා සංගීත ප්‍රසංග සඳහා ලැබෙන අඛණ්ඩ ආරාධනා සමුදායය ම සී. ටී. ගේ අවිච්ඡින්න ජනප්‍රියතාව පිළිබඳ අභේද්‍ය සාක්ෂ්‍ය යි. එහෙවු සී. ටී. පිළිබඳ විධිමත් ශාස්ත්‍රාලයීය අධ්‍යයනයක් මේ දක්වා සිදු නොවීම නම් ඓතිහාසික අසාධාරණයක් බව සඳහන් කළ යුතු ම ය.


ආශ්‍රිත කෘති
අබේසේකර, තිස්ස (1971). “සිතුවිලි” පරසතු (ඔක්තෝබර 15). කොළඹ.
ආරියරත්න, සුනිල් (2002). ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය. කොළඹ: ඇස්. ගොඩගේ සහෝදරයෝ.
ගුරුගේ, නදීක (2013). “නූතන ගීතයේ නව ප්‍රවණතා”. ඉපිටුම: හඬ: ගුවන් විදුලි සඟරාව 9 (2) ජනවාරි - මාරතු. තිලකරත්න කුරුවිටබණ්ඩාර (සංස්.). කොළඹ: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව. පි. 164-179.
මිහිඳුකුල, සුනිල් (2012). “රැජිනගේ මෞලි මංගල්‍යයේ ගී ගැයූ ශ්‍රී ලාංකේය ගායකයා”. දිනමිණ - බද්දර මල්ල (නොවැම්බර 23). කොළඹ: ලේක්හවුස්.
Mahendra, Sunanda (2009). “C. T. Fernando – As I remember him”. Daily News (17th October). Colombo: Lake House.

ගනුෂ්ක රන්දුල විසිනි.
-----------------------------------------------------------------------

01.අවදිවන්න අවදිවන්න

අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
සිතනවාට වඩා සොදුරු
විනෝද බර ලෝකෙක අපි
ජීවත්වන්නේ .......

සුසුම් හෙලන කලට දුක් වෙලා
ඔබත් සමග කව්ද අඩන්නේ
ටිකක් සතුටු වන්න සැනසිල
දහසක් ඒ ලෙස හිනැහෙන්නේ

බලනු මැනවි කුරුළු කැදැල්ලේ
සතුට සැපත රස ඉතිරෙන්නේ..//
එහෙම ඉදිමු සිත සැනසිල්ලේ
දුකිනි මිනිස් කම ලබන්නේ ...

අවදිවන්න අවදිවන්න..

දුක සැප දෙක පෙරලි පෙරලි යයි
යන කාලය නැත නවතින්නේ..//
ඊයේ වගේද අද ටිකක් සුබයි
අදට වඩා හෙට හොද වෙන්නේ....

අවදිවන්න අවදිවන්න...

ගායනය : සී.ටී.ප්‍රනාන්දු

02.පින් සිදුවන්නේ අනේ බාල ළමුන්නේ

පින් සිදුවන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවෙස කඩා බිම නොදමන්නේ
වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලිවලින් මෙහි ගෙනවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තනාලා
උදේ පටන් දවස පුරා කෝටු තනාලා

කොළේ කොළේ දමා කුඩා නිවෙස තනන්නේ
මගේ දයා බිරිඳ නිතර එය සරසන්නේ
රැළේ රැළේ පුළුන් දමා යහන සදන්නේ
අනේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ
දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා
ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට ඉන්ටා
සමාවෙලා මෙ අප වෙතේ දිවි රැකගන්ටා
නමා යදිමි දෙන්න පුතේ මිහිපිට ඉන්ටා

ගායනය : සී.ටී.ප්‍රනාන්දු

03.මගෙ සුදු මාමේ

කළුවන් කළු රුවයි අප ගම මදින්නා
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
එන එන කැකුළු මල් නෑරම තලන්නා
දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා

මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ

ගහින් ගහට අතුර දිගේ නගින්නා
ළපටි කැකුළු මල් බල බල තලන්නා //
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
අනේ වාසනාවන් මේ මදින්නා

ළපටි රා තරුණ අපටයි බෙදන්නේ
පැහුණු රා මහළු අයටයි ඔබින්නේ //
විනාකිරට ඉතුරු කොටස තබන්නේ
අවුරුදු අච්චාරුව ඉන් සදන්නේ

කිතුල් මල් තපා තෙල් දිය බාන්නා
රුහුණේ මී කිරට පැණි නිපදවන්නා //
රසැති කිතුල් පොල් හකුරුද හදන්නා
ගමට කප්රුකක් මේ රා මදින්නා

මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ


ගායනය, සංගීතය - සී.ටී. ප්‍රනාන්දු
ගී පද - සුසිල් සේනාධීර

04.රන්වන් රන්කෙඳි පීරාලා

රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා
රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා
කිංකිණි රූපුර නාද දී
මල් මල් මුහුණක් ඒ ඇදී
උකුල සලාලා බඳ නලවාලා
රඟන්න සියුමැලියේ //

හදේ වීනාව දී නාද දේ
නයනානන්ද රූපේ අගේ
හදේ වීනාව දී නාද දේ
නයනානන්ද රූපේ අගේ
ලියනාරී ලතා නුඹ නැත්තේ කතා
රණ හංසිය වගේ විල් දියේ
රමණීයයි ඔබේ නෙත් ප්‍රියේ

රන්වන් රන්කෙඳි පීරාලා....

නෙතඟේ බැල්ම නිලුපුල් වගේ
මුදු සේ දන්ත කල්‍යාණ වේ
නෙතඟේ බැල්ම නිලුපුල් වගේ
මුදු සේ දන්ත කල්‍යාණ වේ
සුර ලෝකෙන් ගෙනා සළු සුළගේ වනා
රණ මයුරී ලෙසේ මල් ලොවේ
රඟපානු සිනා පා ලොවේ

උකුල සලාලා බඳ නලවාලා
රඟන්න සියුමැලියේ....


ගායනය - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - නෙවිල් ප්‍රනාන්දු


05.පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා කියා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ....

රෑන ගිරව් රෑන පිටින් ඉගිල ගියාදෙන්
සිහින විමන් සිහින ලොවෙන් මිදී ගියාදෙන්
සීත සුලං සීතලයේ හමා ගියාදෙන්
ඉන්න ටිකේ එකතු වෙලා ඉඳිමු විනෝදෙන්

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ....

කාසිපණම් අතේ මිටේ ලැබෙයි කියාලා
වාසි නොවී අවාසියක් වුණැයි හිතාලා
ශෝ‍ක නොවී ලද පමණින් සතුට සොයාලා
ප්‍රීති සිනා සීනු හඬින් ගයමු වයාලා

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ...

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද රචනය - කරුණාරත්න අබේසේකර

06.මා සුකුමාලී

මා සුකුමාලී මහද දිනූ රමණී
කෝමල පාන්නී සුන්දර කළ්‍යාණී
මා හද ප්‍රීතී දෙනු අම පෙම් රසෙනී
ඔබ වේ මගේ හද මන්දිරේ ‍රැජිණී ප්‍රියේ

සිහිල ගෙන දෙන මේ
නාමු පෙම් නදියේ
ගීත ගයමිනි මේ
ටෘලල් ලලල් ලාලල් ලල්ල ලල
ප්‍රේම නැති ලෝකේ
දුකට මුල පෑදේ
විරහ ගිනිදැල්ලේ
පැටලි වැනසෙයි මා

ගායනය - සී. ටී. ප්‍රනාන්දු

07.සිහින ලොවේ මිහිර මැවූ මාලි

සිහින ලොවේ මිහිර මැවූ මාලි
සිනහ නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ

මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම් ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
ඔය මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ

කවියන්ගේ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී

මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම් ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
ඔය මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ

කවියන්ගේ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය


08.සුවඳ රෝස මල් නෙලා

සුවඳ රෝස මල් නෙලා මාල ගොතාලා
ගෙලේ දමා ඉහේ ඔතා සිරස සදාලා

ඈත සීනියා පිච්ච ඩේලියා
බලා නෙළා ගනිමි මෙමා
උයනෙ සරාලා

මාල ගොතාලා ගීත ගයාලා //
තබා පතුල් රඟන රඟා
බලමු සියල්ලා

මිහිරි ගීත ගයා ගයා පේළි සැදීලා
සිනා පපා වටේ යතා නටති සිනා ලා
බාල වූ ළමා සදති මල් දමා
දෙපා පදින් පදට තබා කිකිණි සලාලා

දෑත නගාලා නේත්‍ර විදාලා
නමා කමල් පැදෙති සුරල්
රඟ පරදාලා

සුවඳ රෝස මල් නෙලා මාල ගොතාලා
ගෙලේ දමා ඉහේ ඔතා සිරස සදාලා


ගායනය - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - බී. එස්. පෙරේරා

09.කිමද සුමිහිරියේ

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගෙ දෑසේ නැගෙන කැල්මේ
රහස නැත දන්නේ ... //

සෙවණැල්ල වගේ ඔබ එන විලසේ
මට දැනේ නිතර රහසේ
මුදු තොල් පොපියා කිසිවක් නොකියා
ඇයි යන්නෙ පැන විගසේ
හැම උදේම තනියම මෙසේ
හැම උදේම තනියම මෙසේ
ප්‍රිය ළඳේ ඔබව හමුවේ
කල්පනාව පෙම්බර හිනාව පින්බර
මගේ හිතට සුව දේ

කිමද සුමිහිරියේ....

කෙහෙරැල්ල වැටී නළලට සිරසේ
සිහිලක් දේ බොළඳ මුහුණේ
වන මල් පිපිලා බර වී නැමිලා
ළං වෙන්න එයි මැණිකේ
දුටුවාම හදවත ඔබේ
දුටුවාම හදවත ඔබේ
දුක නැසී සතුට ඇතිවේ
ඔබ ගියේ බලන් හිඳ
අගේ කරන්නද
කියන්න සුරතලියේ

කිමද සුමිහිරියේ....

ගායනය - සී. ටී. ප්‍රනාන්දු
පද රචනය - කරුණාරත්න අබේසේකර

10.මී අඹ වනයේ

මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
ලා නිල් පාටට දිලිසෙන හින්දාද ඇස් දෙක නලවන්නේ..

සිහිනෙන් සිහිනෙට ඔබ එනවා
මොනවාද හිමිහිට මුමුණනවා
හදවත රිදුමද නවතිනවා
මොහොතින් යළි නොපෙනී යනවා..

බඳ වට සුදු ඔසරිය ඇඳලා
මල් පොකුරක් ඔබෙ අත තබලා
ලඟදිම මනමාලිය කරලා
ගෙනයන්නෙමි ඔබ මගෙ කියලා

මී අඹ වනයේ...


ගායනය - සී.ටී. ප්‍රනාන්දු

 

--http://sinduano.blogspot.co.uk/2015/01/blog-post_29.html

 

විකසිත වීමට පෙර නෙළාගත් කුසුම ‘‘දියෝනිස් දෙවොල පාමුල සිට’’

 

Diyonis Devola
ස්ත්‍රිය යනු තවත් මනුෂ්‍යයකු නොව හුදෙක් පුරුෂයන්ගේ සියලු ආශාවන් (වෙසෙසින් ම කාමාශාවන්)තෘප්තිමත් කිරීම සඳහා සැදී පැහැදි සිටින මෙවලමක් යැයි පුරුෂයෝ සිතන්නේ නම් එකී පුරුෂයෝ මනුෂ්‍යයෝ නොවෙති. කුහුඹියාගේ සිට ලොව ජීවත්වන සියලු සත්වයෝ කාමාශා ඇත්තෝ බව සැබෑවකි. එහෙත් එය පුරුෂයාට මෙන් ම ගැහැනියට ද පොදු අවශ්‍යතාවක් මෙන් ම අයිතිවාසිකමක් බව ද පුරුෂයෝ පසක් කරගත යුතු ය. එසේ නොවන කල්හි සිදුවන්නේ පාපන්දුවක්, අත් පන්දුවක් හෝ වෙනත් කිසියම් වූ ක්‍රීඩා භාණ්ඩයක් ලෙස ස්ත්‍රිය භාවිතා කිරීම ය; එසේත් නැත්නම් භාවිතා වීම ය. එමෙන් ම පුරුෂයාගේ මෙම හැසිරීම් හේතුකොට ගෙන ම ස්ත්‍රිය ද ඒ සඳහා සැදි පැහැදී නොසිටින්නේ යැයි සහතික විය නොහැකි ය.

වර්තමානයේ මෙම තත්ත්වය පාසල් භූමියේ සිට විශ්වවිද්‍යාල පද්ධතිය මතු නොව වෙනත් උසස් අධ්‍යාපන ආයතන, සේවා ස්ථාන, දේශපාලන ක්ෂේත්‍රය, ක්‍රීඩා, කලා, ත්‍රිවිධ හමුදා, පොලිසිය හෝ වෙනත් ඕනැම ක්ෂේත්‍රයක් කරා විහිද ගොස් ඇත. මෙහි දී පුරුෂයාගේ බලහත්කාරයට යටවන අවස්ථා මෙන් ම විවිධාකාරයේ වරදාන වරප්‍රසාද උදෙසා ස්ත්‍රිය විසින් පුරුෂයා පොලඹවාගන්නා අවස්ථා ද දක්නට ඇත. එහෙත් මෙහි දී යම් අත්වැරදීමකින් හෝ ස්ත්‍රිය අනාවරණය වන්නේ නම් ක්ෂණිකව ම ඒ මොහොතේ සියලු වරද පුරුෂයා වෙත පවරන්නට ද ස්ත්‍රිය පසුබට නොවේ. මෙහි අනෙක් පාර්ශවය ද මීට සාපේක්ෂ ය. මෙබඳු තත්ත්වයක් තුළ ස්ත්‍රිය පීඩනයට පත්කරනවා මෙන් ම ස්ත්‍රිය සිය කැමැත්තෙන් එකී පීඩනය වැලඳගන්නා අවස්ථා ද වර්තමාන සමාජයේ දක්නට ඇත. මෙය උදාහරණ සහිතව ම වෙනම ම සාකච්ඡා කළ යුතු මාතාකාවක් වන අතර එය පසෙක තබා අදාළ මාතෘකාවට ප්‍රවිශ්ට වන්නට අවසර.

Nadeekabandara
නදිකා බණ්ඩාර නමැති ලේඛිකාව සිය කුළුඳුල් සාහිත්‍යය නිර්මාණය හරහා ගම්‍ය කරන්නට වෙර දරන්නේ සමස්ත ස්ත්‍රී වර්ගයාට මුහුණ පෑමට සිදුවන ව්‍යසනයේ යථා ස්වභාවය යි. ඇය සමාජ ගතකරන්නට වෙර දරනා ප්‍රස්තුථය සංවේදී ය; සංකීර්ණ ය; විවෘත ය. එහෙත් කතුවරිය සිය අනුභූතිය සාහිත්‍යය කෘතියක් තුළට කැටිකිරීමේ දී සාහිත්‍යය යනු කුමක් ද යන ප්‍රපංචය හඳුනාගෙන නොමැති බව පළමුවෙන් ම ප්‍රකාශ කළ යුතු ය.

සාහිත්‍යය යනු හුදෙක් නිර්මාණකරුවාගේ/කාරියගේ අනුභූතීන් ඍජුව ප්‍රකාශ කිරීම නොවේ. එය හුදෙක් වාර්තා කිරීමක් පමණි. වාර්තා කිරීම සහ නිර්මාණකරණය යනු පැහැදිලිව ම ක්ෂේත්‍ර දෙකකි. යම් නිර්මාණකරුවකු/නිර්මාණකාරියක් කිසියම් අනුභූතියක් නිර්මාණයක් සඳහා භාවිතා කරන්නේ නම් එය සත්‍යය ද ප්‍රබන්ධය ද අතර ගලායන ප්‍රවාහයක් විය යුතු අතර සත්‍යය ම පමණක් හෝ ප්‍රබන්ධය ම පමණක් නොවිය යුතු ය. නදීකා වරදවාගෙන ඇත්තේ එතැන ය.

ඇයට සමාජයට පැවසීමට අනුභූතියක් ඇත. ඒ සඳහා අවැසි අමුද්‍රව්‍යය ද වුවමනා තරම් ඈ සතු ය. එහෙත් එකී අනුභූතින් සාහිත්‍යය ශානරයක් හරහා සමාජ ගතකිරීමේ නොහැකියාව ද ඇය සතු ය. එහෙයිනි මේ සියලු සිද්ධීන් හුදු සිද්ධීන් පමණක් ලෙස ම සිය නිර්මාණයට බහාලන්නේ. මෙහි දී අගය කළ යුතු වන්නේ ඇගේ නිර්භීත භාවය යි; ඇගේ කශේරුකාවේ ප්‍රාණවත් බව යි. එය නිර්මාණකරුවකු සතුවිය යුතු විශේෂ ගුණාංගයකි. ඒ පිළිබඳව කිසිඳු විවාදයක් නැත. විවේචනය පවත්නේ සාහිත්‍යය යනු සාහිත්‍යය මිස හුදෙක් වාර්තාකරණය නොවීම ය.
‘‘දියෝනිස් දෙවොල පාමුල’’ කෘතියේ සාධනීයත්වය මෙන් ම එහි පවත්නා නිශේධනීයත්වය පිළිබඳ වැඩිදුරටත් අවධානය යොමු කරමු.

‘‘ආන්ටි මමාගේ සැමියාට බොහෝ ගැහැනුන් සිටින ලදී’’
පිටුව 26
මෙබඳු වාක්‍ය කෘතිය පුරා ම දක්නට ඇත. ඕනැම ලේඛකයකු හෝ ලේඛිකාවක සාහිත්‍යය නිර්මාණයක් ඇරඹීමට පෙර භාෂා රීතිය පිළිබඳ අල්ප හෝ දැනුමකින් හෙබිවිය යුතු ය. එබඳු දැනීමක් නොමැති නම් තම නිර්මාණය සමාජ ගතකිරීමට පෙර අදාළ විෂය පිළිබඳ ප්‍රමාණිකයකු වෙත අදාළ නිර්මාණය යොමු කොට එහි සදොස් තැන් නිදොස් කර ගතයුතු ය. එසේ නොවුණ හොත් සාහිත්‍යය රසය යන්න එෆ්. එම් රසයටත් වඩා පහත් මට්ටමකට ඇද වැටෙනු ඒකාන්තය.

නදීකා සිය නිර්මාණය හරහා නාට්‍ය ක්ෂේත්‍රෙය් අඩුලුහුඬුතා මෙන්ම නළුනිළියන්ගේ ජිවිතයේ ඇතුළාන්තය ඉතා මැනවින් කියාපෑව ද ඒවායේ නිර්මාණශීලීත්වය පවතින්නේ ඉතා පහළ අවධියක ය. එමෙන් ම කලාව සාහිත්‍යය පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා පොලිස් නිලධාරින් පිලිබඳව අගනා හෙළිදරව්වක් ඉදිරිපත්කරන්නට ද ඇය සමත්ව ඇත. 33 වන පිටුවේ අවසානයේ සිට 34 වන පිටුව පුරා අන්තර්ගතව ඇති බර්ටෝල් බ්‍රේෂ්ට් පිළිබඳ පොලිස් නිලධාරියාගේ නොදැනුවත් භාවය මෙයට කදිම නිදසුනකි. එක් පසෙකින් මෙය ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳ අගනා විවරණයකි.

ස්ත්‍රී පුරුෂ ආදර සබඳතාවයේ අවසන් ඵලය වන්නේ ලිංගික එක්වීම ය. එහෙත් එහි දී පුරුෂයා පමණට ම ස්ත්‍රිය සංතර්පණයට පත්වනවා ද යන්න ගැටලුවකි. බොහෝ පුරුෂයන් තම තෘප්තිමත් භාවය තුළින් ම ස්ත්‍රිය ද තෘප්තිමත් වන්නට ඇතැයි උපකල්පනය කරයි. නමුත් එය යථාර්ථය නොවේ. එහි දී ස්ත්‍රිය බොහෝ විට නිහඬ ව්‍රතය රකින්නී ය. ඇය සිය සැමියා ඉදිරියේ හැසිරෙන්නේ පූර්ණ තෘප්තියට පත්වූ එකියක ලෙසිනි. එහෙත් අනෝලි එසේ නොවේ. ඇය සිය අතෘප්තිමත් භාවය සැමියා ඉදිරියේ ප්‍රකාශ කරන්නී ය. නමුත් සැමියා මෙය පිළිගන්නට මැළිකමක් දක්වයි. මෙහි දි කතුවරිය අගනා අදහසක් සමාජ ගතකරන්නී ය.

‘‘මට ඔබව රැවටීමට වුවමනා නැත්තේ මම ඔබට ආදරය කරන නිසා යැයි පැවසුව ද ඔහු එය පිළි නොගත්තේය. මගේ ප්‍රකාශය මට අයත් දෙයක් ලෙසට බැහැර කළ ඔහු එය මගේ ගැටලුවක් ලෙස ඒත්තු ගන්වමින් මා දුර්වල ගැහැනියක බව පෙන්වමින් මා අපහාසයට ලක්කරන්නට විය.’’
පිටුව 42

මේ සමාජ යථාර්ථය යි. මෙහි දී පුරුෂයා දැඩි ආත්මාර්ථකාමි වන අතර පරඟනන් සේවයනය සඳහා මෙකී සිද්ධිය ද ඉවහල් කොට ගන්නේ ය. එහෙත් ගැහැනියගේ පාර්ශවයෙන් පවත්නේ ඊට සපුරා වෙනස් තත්තවයකි. මේ පිළිබඳ වැඩි දුරටත් අවධානය යොමු කරන කතුවරිය මෙසේ සටහන් කරන්නී ය.

‘‘ගැහැනියක තෘප්තිය ලබන්නේ පිරිමියාගේ ලිංගයෙන් නොවන බව දැනගැනීම පිරිමියෙකුට ඇති කරන්නේ ප්‍රංශ මහා විප්ලවයටත් වඩා විප්ලවයකි.’’
පිටුව 43

ලිංගිකත්වය ජීවිතයේ සුවිශේෂ අංගයක් බවට පත්ව තිබෙන්නේ පුහු සදාචාරත්වයක් ආරෝපණය කොටගත් පසුගාමී රටවල්වල ය. එම කාර්යය ද ජීවිතයේ එක් අංගයක් ලෙස සලකා කටයුතු කරන්නට මේ පසුගාමි රටවල්වල ජනතාව උත්සුක වන්නේ නම් මෙම තත්ත්වය බොහෝ දුරට අවම වනු ඇත. එහෙත් ලංකාව මතු නොව තවත් මෙබඳු ම වූ නොදියුණු රටවල්වල එය තව තවත් වර්ධනය වනු මිස දියුණ වන බව නම් සැක සහිත ය.

ජිවිතයේ එක්තරා වයස් සිමාවක දී ස්වයං ලිංගික වින්දනය නොලැබූ පුරුෂයකු හෝ කාන්තාවක සිටි නම් එය ඉතා දුර්ලභ අවස්ථාවකි. කාන්තාවක් කෙසේ ස්වයං වින්දනයේ යෙදෙනවාද යන්න ඇතැම් විට යමෙකු තුළ කුතුහලයක් පවතින්නට පිළිවන. එහෙත් ලිංගික විද්‍යාව නමැති විෂය පිළිබඳ අල්පමාත්‍රයක හෝ දැනුමක් ලබා තිබෙන්නේ නම් මෙය වටහා ගැනීම ඉතාමත් පහසුවනවා ඇත. ‘‘දියෝනිස් දෙවොල පාමුල සිට’’කෘතියේ කතුවරිය නිර්භය ලේඛිකාවක යැයි මා මීට පෙර සඳහන් කළේ ඇය මෙම කාරණය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය හේතුවෙනි.

සැබැවින් ම ගැහැනියක සුරතාන්තයට පත්වන්නේ පුරුෂයාගේ ලිංගයේ දිග පළල අනුව නොව ඔහු ගැහැනියකගේ රසගුලාවන් මොනවාද යන්න දැන සිටින්නේ නම් පමණි. ගැහැනිය ද තමන්ගේ රස ජනනේද්‍රය කුමක් ද යන්න සිය ජිවිත කාලය පුරාවට ම හඳුනා නොගෙන සිටින්නට ද පිළිවන. මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් ගාමිණී වියන්ගොඩ පරිවර්තකයා විසින් පරිවර්තනය කළ ‘‘ව්‍යවච්ඡේදකයා’’ කෘතියේ අන්තර්ගතය. භගමණිය යනුවෙන් සිංහලෙන් ව්‍යවහාර වන ස්ත්‍රී රසජනේන්ද්‍රය කතුවරිය එහි ඉංග්‍රීසි පදයෙන් (ක්ලිටෝරිසය - Clitoris) හඳුන්වා දි ඇත්තේ ඇතැම් විට ව්‍යවච්ඡේදසකයා කෘතිය ඇසුරින් ලද ආභාෂයෙන් ද යන්න සැක සහිත ය.

‘‘එක් අගෝස්තු නිවාඩුවක් අවසන ඔන්න මෙන් තිබිය දී මගේ ක්ලිටෝරිසය බනී සොයාගත්තාය. එක් දිනක් ඇය ඇගේ එක් අතක් මගේ ලිංගේන්ද්‍රය අසලට ගෙන ගොස් තබා රහසින් මෙතන අමුතු දෙයක් වෙන තැනක් තියෙනවා යනුවෙන් මගේ කනට කෙඳිරුවාය. ඇය ඇගේ වෙදඟිල්ල තැනින් තැන තබමින් ඇසුවේ මොනවා හරි දැනෙනවාද යනුවෙනි. මම දැස් පියාගෙන ඇය ක්ලිටෝරිසය පිහිටා ඇති තැන අල්ලාගන්නා තුරු අවධානයෙන් සිටියෙමි. එය සොයාගත් ඇය මගේ වෙදඟිල්ල එතැන තබා අතගා බලන ලෙස මගේ කනට කෙඳිරුවාය.
‘‘... බනී ඒ වන විට මගේ ශරිරයේ සුරතාන්තය හඳුන්වා දුන් බව මම නොදැන සිටියෙමි. ඇය මට සොයා දුන්නේ මගේ ශරීර තෘප්තියේත් කාමයේත් යතුර බව මම දැන නොසිටියෙමි.’’
පිටු 44, 45

මෙකී සිද්ධිය ව්‍යවච්ඡේදකයා කෘතියේ ද වෙනත් ආකාරයකින් සඳහන් වේ.

‘‘ඉවෙන් මෙන් සිතා, ව්‍යවච්ඡේදකයා ඒ අමුතු අවයවය සිය මහපටඟිල්ලෙන් සහ දබරඟිල්ලෙන් ගත්තේ ය. ඉන් පසු, ලේ රතු පාටින් පිම්බී තිබූ ග්‍රන්ථිය, අනිත් අතේ දබරඟිල්ලෙන් හිමිහිට සුරතල් කරන්ට වන්නේ ය. එවිට, එතෙක් බුරුලට තිබූ රෝගියාගේ සිරුර නිරායාසයෙන් ගල් ගැසෙද්දී, අමුතු අවයවය ප්‍රමාණයෙන් වැඩී, තුනීයට හැකිලෙමින් ස්ඵන්දනය වන්නට විය’’
ගාමිණී වියන්ගොඩ: ව්‍යවච්ඡේදකයා: පිටුව 134

ව්‍යවච්ඡේදකයා කෘතියෙන් ඉහත කොටස උපුටා දක්වමින් නදිකා එම කෘතියෙන් මෙම කොටස සොරාගත්තා යැයි පවසන්නට තරම් ලියුම්කරු සාහසික නොවන අතර ඇය එහි ආභාෂය ලබාගත් බව නම් සහතික යැයි සිතේ. එමෙන් ම එය වරදක් නොවේ ය යන්න ද සඳහන් කළ යුතු ය.

ස්ත්‍රිය සහ පුරුෂයා අතර පවත්නේ හුදෙක් ලිංගික ගනුදෙනුවක් පමණක් ම ය යන්න ද විවාදයට බදුන් කළ යුතු කරුණකි. සැබැවින් ම පුරුෂයකු ස්ත්‍රියක සමග හෝ ස්ත්‍රික පුරුෂයකු සමග බැඳෙන්නේ ලිංගික ආකර්ෂණය හේතුකොට ගෙනම ය යන්න තාර්කික ය. එය වඩාත් තිව්‍රර කරනු වස් කතුවරිය මෙලෙස සටහන් කරයි.

‘‘පිරිමියෙකු සමඟ නිදාගැනීම ප්‍රතික්ෂේප කළ විටෙක පිරිමියෙකුට තවත් එම ගැහැනිය සමඟ කරන්නට දෙයක් නැත’’
පිටුව 47

පුරුෂයා මෙන්ම කාන්තාව ද එකිනෙකා කෙරෙහි පළමුව ආකර්ෂණය වන්නේ ‘ආදරය’ නමැති ආධ්‍යාත්මික සංකල්පය මත නොව ‘ලිංගිකත්වය’ නමැති භෞතික සාධකය මත ය. එහෙත් කිසිවකු මෙය පිළිගැනීමට නොකැමති ය. ඉහත සදහන් කළ කතුවරියගේ ප්‍රකාශය මෙම යථාර්ථය වඩ වඩාත් තිව්‍රර කරයි.

ලිංගිකත්වය යනු මිනිසාට මතු නොව සියලු සත්වයන්ට උරුම ක්‍රියාදාමයකි. එය ප්‍රජනනයට මෙන් ම තෘප්තියට ද අදාළ ය. ලිංගික ක්‍රියාදාමය හරහා තෘප්තියක් නොලද්දේ නම් ඇතැම් විට ප්‍රජනනය නමැති අතුරු ඵලය නොලැබෙන්නට ද, නොදකින්නට ද ඉඩ තිබිණ. එහෙයින් ලිංගික ක්‍රියාදාමය යනු අස්වාභාවික ක්‍රියාවක් නොවේ. එහෙත් ඇතැම් පුරුෂයන් විකෘති ලිංගිකාශාවන්ගෙන් තෘප්තිමත් වන්නෝ වෙති. ඔවුන්ට ස්ත්‍රිය යනු හුදු ක්‍රිඩා භාණ්ඩයක් පමණක් ම වන්නේ එහෙයිනි. කතුවරිය සිය නිර්මාණය හරහා මෙකී ව්‍යසනය ද ගම්‍යකරන අතර එකී සිදුවීම් විස්තර කරන්නට කතුවරියගේ ශබ්දකෝෂයේ ගබඩා කර ඇති වචන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කෘතියේ රස නිෂ්ප්‍රභ කෙරේ.

ස්ත්‍රිය නිරන්තරයෙන් පුරුෂයාගේ අතවරයට හිරිහැරයට ලක්වන බව ප්‍රසිද්ධ කරුණකි. නදීකා සිය නිර්මාණයේ දී ස්ත්‍රියගේ පීඩනය ප්‍රකට කරන්නට විවිධාකාර පුරුෂ ක්‍රියාකාරකම් ඉදිරිපත් කරයි. ගැටලුව එය නොවේ: ‘‘දියෝනිස් දෙවොල පාමුල සිට’’ කෘතියේ අනෝලි නමැති ස්ත්‍රිය පුරුෂයකුගේ බලහත්කාරයට යටවන අවස්ථා අල්ප ය. එම අවස්ථා වුව ද මගහැර යාමට අනෝලිට ඉඩ ප්‍රස්තා නොතිබුණා නොවේ. එහෙත් ඈ එසේ නොකරන්නේ ඇයට තිබූ දැඩි මුදල් අවශ්‍යතාවය හේතුවෙනි; නිළියක් වීමේ සිහිනය සඵල කරගැනීමේ අටියෙනි; ජනප්‍රියත්වයට පත්වීම සඳහා හොඳම මාර්ගය සිය ශරීරය පුරුෂයන් වෙත පිදීම ඉතාම පහසු මගක් ලෙස සැලකු බැවිනි.

එනයින් බලන විට මෙම කෘතියේ ප්‍රධාන චරිතය වන අනෝලි යම් පුරුෂයකුගේ පීඩනයට ගොදුරු වූවා ද, එය පුරුෂයාගේ ආධිපත්‍යය පැතිරවීමක් නොවේ. පුරුෂයා පාරිභෝගිකයෙක් බවට පත් වී අනෝලි නමැති ස්ත්‍රිය වෙළෛඳ භාණ්ඩයක් බවට පත්වීම පමණි. ඇය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වීම සඳහා බලපැ සමාජ ආර්ථික හේතු තිබෙන්නට පිළිවන. එහෙත් පාරිභෝගිකයා සහ භාණ්ඩය අතර සිදුවන්නේ හුදෙක් ගනුදෙනුවක් ම පමණි.

උදාහරණයක් ලෙස ගතහොත් කිසියම් පාරිභෝගිකයකු වෙළෙඳපළෙන් මාළුවකු මිලදි ගත් පසු එම මාළුවා කෑලි කියකට කපනවාද, කපන්නේ කුමන හැඩයේ කෑලි ද, එයින් කොපමණ ප්‍රමාණයක් හොදි හදනවා ද, කොපමණ ප්‍රමාණයක් ඇඹුල් තියල් කරනවා ද, කොපමණ ප්‍රමාණයක් බදිනවා ද, කොපමණ ප්‍රමාණයක් ස්ටු දමනවාද යන්න තීරණය කරන්නේ මාළු කූරියා මිලදි ගත් පාරිභෝගිකයා මිස මාළුකූරියා මාළු වෙළෙන්දා නොවේ. මෙලෙසින් අනෝලි නමැතී ස්ත්‍රී ශරිරය මිලදි ගන්නා විවිධාකාරයේ පුරුෂයන් තමන් රිසි පරිදි එකී ස්ත්‍රී ශරිරය භාවිත කරයි. එය ස්වභාවික ලිංගික ක්‍රියාවට ද අස්වාභාවික ලිංගික ක්‍රියාවකට ද යන්න තීරණය කරන්නේ ස්ත්‍රී ශරීරය මිලදී ගත් පුරුෂ පාරිභෝගිකයා විසිනි. ඔහු ඒ සඳහා මිලක් ගෙවන්නේ එහෙයිනි. භාණ්යක් ලෙස අලෙවි නොවුණේ නම් අනෝලි එවන් කටුක අත්දැකීම් අත් නොවිඳින්නී ය. එහි දී පුරුෂයාගේ හැසිරීම කෙතරම් පහත් ද, නිච ද යන්න වෙනම ම සාකච්ඡා කළ යුතු ප්‍රස්තුථයකි.

අප සැවොම ජිවත්වන්නේ කාම ලෝකයක ය. කාමය යනු හුදු ලිංගිකත්වය නොවේ. වෙනත් වස්තූන් කෙරෙහි ලොල් වීම ද කාමය යනුවෙන් හැඳින්වේ. එමෙන් ම ලිංගික කාමය ද විවිධාකාර ය. එය: ප්‍රදර්ශන කාමය, නැරඹුම් කාමය, පරපීඩක කාමය, ස්වයං පීඩක කාමය ආදි වශයෙන් වර්ග කළ හැකි ය. මෙහි දී වැදගත් වන්නේ මේ සියලු කාමාශාවන්ගේ ගොදුර බවට ස්ත්‍රිය බඳුන් වීම ය. මන් ද පුරුෂයා පමණට ස්ත්‍රිය ප්‍රදර්ශන කාමයට නැඹුරු නොවේ. එහෙත් පුරුෂයා එබඳු අවස්ථාවන් වෙත නැඹුරු වන ප්‍රවනතාවය ස්ත්‍රියට සාපේක්ෂව ඉහළ ය. නැරඹුම් කාමය කෙරෙහි වඩාත් ලොල්වන්නේ පුරුෂයෝ ය. ස්ත්‍රිය නැරඹුම් කාමය ප්‍රතික්ෂේප කරනවා යන්න මින් ගම්‍ය නොවේ. එහෙත් ස්ත්‍රියට සාපේක්ෂව පුරුෂයා නැරඹුම් කාමයට පෙලඹෙන අවස්ථා ඉහළ ය. පරපීඩක කාමය වඩාත් බලපවත්නේ පුරුෂයන් වෙත වන අතර එහි ගොදුරු බවට පත්වන්නේ ස්ත්‍රිය යි. එනම් ස්වාභාවික ලිංගික සංසර්ගය ඉක්මවා ගිය විවිධාකාරයේ ලිංගික ක්‍රියාවන්හි නිරත වන්නේ ද පුරුෂයා ය. එහි දී ද පුරුෂයාගේ ගොදුර බවට පත්වන්නේ ස්ත්‍රිය යි. ස්වයං පිඩක කාමය මේ දෙපාර්හවයට ම පොදු ලක්ෂණයක් වන අතර එකිනෙකා කෙරෙහි පවත්නා ආශක්ත භාවය මත මෙය සිදු වේ.

මා මේ සියල්ල මෙසේ විස්තර කළේ අනෝලි සිය ජීවිත කාලය පුරා ඉහත කී විවිධාකාරයේ කාමුක පීඩාවන් සියල්ලට ගොදුරු වන්නී ය. ඇය ද ඇතැම් අවස්ථාවන්හි දී සිය කාමාශක්තභාවයට පුරුෂයන් ගොදුරු කරගන්නේ මෙහි අනෙක් පාර්ශවය නියෝජනය කරමිනි. සැබැවින් ම මෙය ස්ත්‍රිය පිඩනයට පත්කිරීමක් ලෙස හැඳින්විය නොහැකි වන්නේ අනෝලි නමැති ස්ත්‍රිය මේ සියල්ල තමන් වෙත ළඟා කරගන්නේ සහ අත්පත් කරගන්නේ සිය කැමැත්තෙන් වීම නිසාවෙනි. මේ සඳහා අනෝලි ගේ ම ප්‍රකාශයක් උපුටා දක්වන්නෙමි.

‘‘ඔබට අවශ්‍ය කරන දොරක් ඇත්තේ අතනය. එය විවිර කළ හැක්කේ අර පුද්ගලයාටය යනුවෙන් හමු වූ සෑම පුද්ගලයෙක් මෙන් ම කාලිංග මහබන්දු ද මට පැවසුවේ ය. යම් අහඹු සිදුවීමකින් මගේ දෛවය අවශ්‍ය තැනට මා ගෙන යනු ඇති බවට මට සැකයක් නොවිණි. ආරංචියකට මට ගෙවීමට තිබුණේ මගේ ශරීරයෙනි. ඔවුනට අවශ්‍ය වූයේ ද ශරීරය යි. මට ද වෙනත් කිසිවක් තිබු‍ණේ නැත.’’
පිටුව 84

අනෝලි සිය අරමුණු මුදුන්පතත් කරගැනීම සඳහා ස්ව කැමැත්තෙන් ම පුරුෂයන් සමග යහන් ගත වු බවට මෙය කදිම සාක්ෂියකි. මෙහි අවසාන වාක්‍ය දෙස නැවතත් අවධානය යොමු කරන්න.

‘‘මට ද වෙනත් කිසිවක් තිබුණේ නැත’’

මින් ගම්‍ය වන්නේ වෙනත් කිසිවක් තිබුණේ නම් අනෝලි පුරුෂයන්ගේ කාමුක ආශාවන් මුදුන්පත් කිරිම වෙනුවෙන් සිය ශරීරය කැප නොකරන බව නොවේ ද?

ස්ත්‍රියක්, ස්ත්‍රියක් වූ නිසාම ඇයට මුහුණ පෑමට සිදුවන ගැහැට නැතුවා නොවේ. එය ද සමාජ සම්මතය අනුදක්නා ක්‍රමයක් මිස සැබැවින් ස්ත්‍රියට සීමා වූ ගැහැට නොවේ. කතුවරිය මෙම සමාජ සම්මතය පුපුරුවා හරින්නට විශාල ප්‍රයත්නයක් දරා ඇත.

‘‘අඳුර පැමිණෙන විට ගැහැනුන් ගෙදර සිටිය යුතුය. කුඩා කල එය මා වෙනුවෙන් ද පැනවූ නියෝගයකි. රාත්‍රියේ ඇවිදිමින් සිටින ගැහැනියක දූෂණයට ලක්වුහොත් එහි වගකීම දූෂකයා අතට පැවරෙන්නේ නැත. අශිෂ්ටත්වයේ සදාචාර වගකීම පැවරි තිබුණේ ඒ ආකාරයටය. එහි වරදකරු ගැහැනියයි. ගැහැනුන් රාත්‍රියේ නිවසින් බැහැරවීම වරදකි.’’
පිටුව 116

මවක් සිය දියණිය රැකියාව නිම වි නිවසට පැමිණෙන තෙක් සිටින්නේ නොඉවසිල්ලෙනි. ඇය සිය සැමියා හෝ පුතකු වෙත ‘දැන් දුව එන වෙලාව. පාරට ගියානම් හොඳයි නේද?’ හෝ ‘පුතේ අක්ක/නංගි දැං එනව ඇති. පොඩ්ඩක් පාරට ගිහින් බලපං’ යැයි පවසන්නේ ඇයි? ඇගේ සැමියා හෝ ඇගේ පුතා වැනි තවත් පුරුෂයකුගෙන් තම දියණියට වන අතවරය වළක්වා ගැනීම සඳහා ය. ඇතැම් විට මේ ස්වාමියා ම වෙනත් බිරිඳකගේ දියණියක් දූෂණය කළ හැකි ය. මේ පුතා තවත් මවකගේ දියණියක්, තම සොයුරිය වැනි ම ස්ත්‍රියක් දූෂණය කළ හැකි ය. මේ සමාජ ව්‍යසනය කවදා කොතැන අවසන් වේදැයි නිශ්චය කළ නොහැකි ය. තම තමන්ගේ දූවරුන්, සොයුරියන් බිරින්දෑවරුන් පමණක් ආරක්ෂා කරගන්නට ඔවුනොවුන් යත්න දරන්නේ එහෙයිනි.

හුදෙක් ලිංගික අතවරයන් පමණක් ම හුවා දක්වමින් නොනැවතී සැබැ ලෙසින් ම ස්ත්‍රියට බලපාන ඍජු ගැටලු පිළිබඳව යම් කතිකාවතක් සිය නිර්මාණය තුළින් සමාජ ගතකිරීමට කතුවරිය දරනා උත්සාහය අගය කළ යුතු ය. එය හේතුකොට ගෙන ම මෙම නිර්මාණය ස්ත්‍රීවාදි කෘතියක් ලෙස නාමකරණය කිරීම නම් අඥානකමකි. මන්ද අනෝලි සිය ඉලක්කයන් සපුරා ගැනීම සඳහා භාවිතයට ගන්නේ බහුතරයක් පුරුෂයෝ ස්ත්‍රීන්ගෙන් බලාපොරොත්තු වන උපරිම වටිනාකම මෙන් ම ස්ත්‍රියකට කළ හැකි අසීරු ම කැප කිරීම ඉතා සරල කාර්යයක් ලෙස හුවා දක්වමිනි. එමෙන් ම ඇය තවත් ස්ත්‍රියකගෙන් පළිගැනීමේ අරමුණෙන් එකී ස්ත්‍රියගේ සැමියා සමග යහන්ගතවන්නි ය. එහි දී එම පුරුෂයා අනෝලිව කුමනාකාරයෙන් භාවිතා කළ ද ඔහුට එරෙහිව චෝදනා නගන්නට අනෝලිට හැකියාවක් නොමැත.

‘‘දියෝනිස් දෙවොල පාමුල සිට’’ කෘතිය පිළිබඳ විවේචනාත්මක විචාරය නිමා කිරීමට පෙර නදිකා බණ්ඩාර ලේඛිකාවට මෙන් ම ඇය මෙන් නවකතාවකට උචිත අමුද්‍රව්‍යය මිට මොළවාගෙන සිටින, එහෙත් එය කිසියම් හැඩයකින් යුක්තව විසුරුවා හැරීමට අසමත් ලේඛක ලේඛිකාවන් වෙනුවෙන් යමක් පැවසිය යුතු ය.

සාහිත්‍යය නිර්මාණය යනු ඇසු දුටු දී ඒ ආකාරයෙන් ම වචන බවට පරිවර්තනය කිරීම නොවේ. වාර්තාකරණයක් ද නොවේ. එය නූල්පටකට විවිධ හැඩයෙන් වර්ණයෙන් යුත් මුතුකැට කිසියම් රටාවක් අනුව අමුණා මාලයක් සකසනවා වැනි ය. එලෙසින් හැඩ කිරීමට තමන් අසමත් වන්නේ නම් කෙතරම් වටිනා, අලංකාර මුතු තමන් සතු වුව ද අලංකාර මාලයක් සකසා ගැනීම අසීරු ය. එහෙයින් නිර්මාණය සමාජගතකිරීමට පෙර අවම වශයෙන් කෘතියක් රස විඳ එහි රස නිරස විග්‍රහ කිරීමට සමත් පාඨකයකු වෙත හෝ අදාළ නිර්මාණය යොමු කළ යුතු ය. නොඑසේ නම් සියල්ල ගඟට කැපු ඉනි මෙන් වනවා නිසැක ය.

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

කත්මන්දුවේ " අපේ කාලයේ සලකුණු "

cover photo

 

 

කත්මන්දු නුවර සිංහ ධර්භාවේ කොණක පිහිටි සිද්ධාර්ථ කලාගාරයේ උඩු මහලේ සුජාන් චිත්‍රකාර් " අපේ කාලයේ සලකුණු " නම් තමන්ගේ ​කලා ව්‍යායාමය ජනගත කරන්න නියමිත වෙලා තිබුණේ පසුගිය ජනවාරි 27 වැනිදා හරියටම හවස දෙකට.

මේ වසරේ ජනවාරි 22 කියන්නේ ​නේපාලයට තීරණාත්මක දවසක්. ඒ මොකද මේ ජනවාරියේදී 22 වෙනදා නේපාල නව ව්‍යවස්ථාව ලියවීමේ කාර්‍යය නිමා වෙන්න තිබූ දිනය. නමුත් වසර 8 කටත් වැඩි කාලයක් ගත වුනත් පැවති ආණ්ඩු දෙකකට සහ පවතින ආණ්ඩුවට නේපාල ජනයාට ව්‍යවස්ථා ලියවිල්ල ඉවර කරදෙන්න බැරිවීම නේපාලයේ දේශපාලන ආරාජිකභාවය මොනවට පැහැදිලි කරන්නක්.

කෙසේ වෙතත් 27 වැනිදා සුජාන්ගේ නව කලාකෘතිය ජනගත කරන මෙ​ාහොතේම නේපලයේ පමණක් නොව සමස්ථ දකුණු ආසියාවම පවතින දේශපාලන ගුඩත්වය නේපාල ව්‍යවස්ථා සම්පාදක සභාවෙදි පෙන්වනවා. සුජාන් සිය කලා ව්‍යායාමය ජනගත කරන්නේ පාර්ලිමේන්තුවේ ඒ සිදුවීම වෙමින් පවතින නිමේෂයේමයි.

ආසියාතික දේශපාලන ගුඩත්වය නේපාලය වෙලාගෙන තිබුණද එයට විරෝධය සමාජයේ විවිධ ස්ථර වලින් මතුවීම නේපාලයේ එක් සුවිශේෂී ලක්ෂණයක්.

ඒ අර්ථයෙන් සුජාන්ගේ මැදිහත් වීම සහ ඒ මැතිහත් වීම සිදුකරන මොහොත ඉතාම වැදගත්.

සුජාන් තමන්ගේ ශරීරය කැන්වසයක් බවට පරිවර්ථනය කරනවා. තමන්ගේ අනන්‍යතාවය වූ රැවුල සහ කොණ්ඩය කපලා හිස මුඩුකරනවා. යමෙකු හිස මුඩු කිරීම නේපාලයේ හින්දු සංස්කෘතියට අනුව "අවමංගල්‍ය" කාරණයක්. එම නිසා විලාසිතාවක් ලෙස හිස මුඩුකිරීම නේපාලයට අදාළ කාරණායක් නොවෙයි. එය සංස්කෘතික සලකුණක්.

33473

නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවට නේපාලයට අවශ්‍ය ව්‍යවස්ථා ලියවිල්ල ලියාගන්න බැරිව ඒ විතරක් නෙමෙයි ඒ මොහොතේ සිදුවෙන අතියශ ත්‍රාඩ හැසිරීමට විරුද්ධව සුජනා චිත්‍රකාර් විසින් සිදුකරන මැදිහත් වීම ඉතා තියුණු සංස්කෘතික මැදිහත්වීමක්.

කලාකාරයට පූර්ණ නිහඩතාවයක ගිලී තිබේ. ඒ නිහඩබවම බරපතල විරෝධයකි. සුජාන්ගේ මුහුණ හැගීම් විරහිතය. නමුත් සන්සුන්ය.කුඩා සුදු පැහැති වේදිකාවක් මත , උඩුකය නිරැවත්ව ලිනන් කලිසමක් සහ මේස් දෙකක් පමණක් පැලද සාමාන්‍ය බාබර් කෙනෙක් විසින් සුජන්ගේ කොන්ඩය කපා ඉවත් කරන එක නේපාලය මේ මොහොතේ ගමන් කරමින් ඉන්න දේශපාලන අවමංග්‍ය සම්බන්ධයෙන් කරන තියුණු නිරෑපණයක්. එතැන මැවෙන රෑපකට අතිශය ප්‍රබලයි. මන්ද සුදු පසුබිම නේපාලයේ දේශපාලනයනම් ඊට විරැද්ධව පවතින සුජාන්ගේ අර්ධ නිරැවත් ශරීරය නේපාලයේ පවතින යථාර්ථය.

මේ සජීවී කෘතියේ දෙවැනි පරිච්ඡේදය ආරම්භවෙන්නේ ඊට පස්සේ. කෘතිය සිය ප්‍රේක්ෂකයා සෘජු ගණුදෙනුවක් වෙත ගමන්කරනවා. අසල විදුරැ බදුනක දමා අැති තුන්ඩු ගණන 601. ප්‍රේක්ෂකයන් එයින් තුණ්ඩුව අතට ගෙන එහි ඇති දෙය ශබ්දනගා කියවා එය ඔහුගේ සිරැර මත සුදු තීන්තයෙන් ලියනවා. තුණ්ඩු 601 ම ඇත්තේ ඇත්තේ නේපාල පාර්ලිමේන්තුව නියෝජන කරන නියෝජිතයන්ගේ නම්ය. සියල්ල එකින් එක සුජන්ගේ සිරැර මත ලියවෙද්දී මායාකාරී සුදු දේශපාලනයට එපිටින් පිහිටි දුබුරැ පැහැති යාථාර්ථය ටිකෙන් ටික බොද වී සුජාන්ගේ ශරීරයද පසුබිම සමග බද්ධ වෙමින් යයි.

ඊනියා දේශපාලන නියෝජිතයන් යැයි කියානා පිරිස් මොහොතේ සිදුකරමින් සිටින්නේ විවිධ අායතනික ස්ථාපිතයන්ට මවාවෙමින් යථාර්ථ වහන් කිරීමයි.

33474

සුජාන් චිත්‍රකාර්ගේ මැදිහත් වීම නේපාල අර්ථයෙන් අතියශ තියුණ සහ වැදගත් යැයි කීවේ ඒ අර්ථයෙනි. කලාකරැවන් සමාජ මත නිර්මාපකයන් වන්නා සේව එහි පෙරටුගාමීහූ ද වෙති. එම නිසාම කලා මැදහත් වීම් දකුණු ආසියාතික දේශපාලනයට ඉතාම වැදගත්ය.

මන්ද අපේ කාලයේ සලකුණු නිවැරදිව වටහා ගැනීමට ඉතා අත්‍යවශ්‍ය කාරණයක් නිසාවෙනි.

සුජාන් චිත්‍රකාර් - මුද්‍රණ සහ ග්‍රැෆක් අංශ ප්‍රධානී, කත්මන්දු විශ්ව විද්‍යාලය.

 

 නිර්මාල් ඒකනායක | Photo Courtesy - Repablica 

 

රෝස මල්වලට වෙඩි බිදිය හැකිද ?

Photo EGYPT

 


මෘගයන්​ෙග් වෙඩි පහර " ඇයගේ" සිරැර පසාරැ කරගෙන ජීව ප්‍රාණය රැගෙන පලා යද්දී ඇය තැබූ අවසන් පියවර කීපය කැමරා කාචයක සටහන්ව ඇත්තේ මෙසේය.

2011 වර්ෂයේ සීත සෘතුවේදී ඒකාධිපතියා එලවා දැමීමට තාහීර් චතුරශ්‍රයට එක්වූ මිසර හෙවත් ඊජිප්තු වැසියන් මිලියන ගණනක් අතර ඇයද උන්නාය. එ්කාධිපතියා එළවීම සමරනු වස් රෝසමල් රැගෙන තාහීර් චතුරශයට පාද යාත්‍රාවේ යෙදුනු "ඇය" ඇතුලු පිරිස මෙවර ඉල්ලා සිටියේ " නිදහස, සමාජ සාධාරණත්වය සහ පාන් " ය. නමුත් ඒකාධිපතියාගෙන් පසු ඊජිප්තුවේ බලය ඇල්ලූ (ජ්‍රජාතන්ත්‍රවාදී යැයි කියන මැතිවරණයක් පත්වූවද) අල්-සීසීගේ මිලිටරි ජුන්ටාවේ පොලිස් මෘයෝ නිදහස ඉල්ලූ "ඇය" ඉලක්ක කලහ.

ඇය ෂයිමා අල් - සබා ය. ඕ ඊජිප්තු ජනප්‍රිය සමාජවාදී සන්ධාන පක්ෂයේ ක්‍රියාකාරිකාවක් සේම පස්හැවිරැදි පුතකුගේ මවක් ද වූවාය.

ඊජිප්තු හමුදා ජුන්ටාවේ පොලිස් මුරැගයන් තැබූ වෙඩිපහර ඈයගේ සිරැර පසාර කරගෙන යද්දී පවා හෙතෙම තවත් පියවර කීපයක් ඉදිරියට මිස පසුපසට ගියේ නැත. සිය මිතුරෙකු වූ සයෙඩ් අබු-එලා විසින් ඇලෙක්සැන්ඩ්‍රියා නුවර නිරැවත් පොළව මත ඇද වැටෙන්නට පෙර අල්ලාගත ඇය රෝහල වෙත ගෙන යනවිටත් ඕ මෙලොව හැරගොස් සිටියාහ.


ඇගේ අවසන් ගමනට සහභාගී වීමට සියගණනක් ඇලෙක්සැන්ඩ්‍රියාවය එක් රැස්වී සිටි අතර ඇය ගැන තැබූ ටුවීට් පණිවුඩයක් වූයේ

" ඇයට ඕනේ වුනේ තාහිර් චතුරශ්‍රය මත රෝසමල් අතුරන්න,ඒත් අප අද ඇය වෙනුවෙන් රෝසමල් තබනවා"

අවසානයේ මුරැගයෝ රෝස මලකට වෙඩි බින්දේය.

1973 දී පිනෝචේගේ මෘයන් විසින් සිය දෑත කපා දැමීමට පෙර චිලියේ ජනතා කලාකරැවා, වික්ටර් හාර සිය නිමා නොකල අවසන් කවියේ මෙලෙස ලියා තැබුවේය.

 " මේ මෙතැන
මෙනගර කොණ
අපි 5000 වෙමු.
ලෝව පුරා
නගර සිසාර "අප"කොපමණද?
අප දෑස් මරණයට බියක් නැත.
ඒකාධිපතියන්ගේ මුහුණු කොපමණනම් බිය වී ඇත්ද?
රක්ත ලේ, පදක්කමකි උන්ට
මනුෂ්‍ය ඝාතන, වික්‍රමාන්විය උන්ට  " 


[ වික්ටර් හාරා | 1973 සැප්තැම්බර් / එස්ටාඩිඕ,චිලීය ]

ඉතිහාසයේ සියලු තුවක්කු කටවල් ඉලක්ක කර ඇත්තේ අපේ පන්තියේ රෝස මල්ය.


පසන් ජයතිලක © LNW | Photo - Reuters

 

ප්‍රගීත් එක්නැලිගොඩ: පස් වසක් නිහඬ තිස් වසක අරගලකාරී ජීවිතයක්

prageeth

 අපේ ජීවිතවලට ලහි ලහිව අන්ධකාරය කඩාවැටෙමින් තිබූ භීම සමයෙක, මානවීය මිත‍්‍ර සන්ථවයට මුල් ඇදෙන්නට හැකි ගැඹුරුම තැනුත්, අවස්ථාවාදී උපයෝගීතාවට පාවෙන්නට හැකි ඉහළම ඉම් පෙදෙසුත් ගැන ඉතා කෙටි නමුත් ඊයම් බරු සා බර පාඩමක් කියාදුන් නොඋස්, සුනංගු මිනිසෙක් අපේ සුරක්ෂා ස්ථානය වූ අඳුරු මහල් ගොඩනැඟිල්ලේ පියගැට පෙළ බැස කොළොම්පුරේ අනන්ත මංමාවත් මැද මැකී ගියේ ය. ඒ 2009 ජනේරුවයි.

Read more...

සසල දිය කඳක නිසල මතකය...

DSC 1891සසල දිය කඳක නිසල මතකය...


පුස්සැල්ල කළුපහන ප්‍රදේශය හරහා කුඩා ඔයේ දිය දහරා දළ බෑවුම ඔස්සේ ඉතා වේගවත්ව හා ප්‍රචණ්ඩව පහළට ගලා බසී. ගල් පර්වත වල වැදී ආකූල ව්‍යාකුල ආකාරයෙන් ගලන දිය දහරාවන්ගේ හඬ හාත්පස දෝංකාර දෙයි.මැතිවරණ නිරීක්ෂණ කටයුත්තක් සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගමන් කර පෙරලා පැමිණෙමින් සිටි මාගේ ගමන් සගයින් වූයේ ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු හා මාධ්‍ය ක්‍රියාධරයෙකු වන ජයසිරි ජයසේකර හා රියදුරු මනෝජ් ය. දිනය හරියටම ඉකුත් නමවැනිදා ය. එතෙක් පැවති රාජපක්ෂ ආණ්ඩුවේ ඉරණම තීරණය කල ජනාධිපතිවරයා තොරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේන් ශ්‍රී ලංකාවේ සයවැනි විධායක ජනාධිපති වරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කල දිනය දාය.

හදිසියේ අවදිවූවෙකු ලෙස හඬ නැගූ ජයසිරි සොහොයුරා හිටිවනම අපගේ රථය නවත්වන ලෙස රියදුරාට දැනුම් දුන්නේ විශ්මයකින් මුව පුරවාගෙනය.

“ප්‍රකාශ් දන්නවද මේ තැන ? ”

ඔහුගේ පැනයෙන් මම නිරුත්තර වීමි.

බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අප රැඳී සිටියේ පුස්සැල්ල කළුපහන ප්‍රදේශයේය. රථය මදකට නතර කල අප මාර්ගය හරහා ගලා යන කුඩා ඔය දිය දහර ඔස්සේ ඉහලට නැගුනෙමු. එහි එක් ගල් තලාවක හිඳගත් ජයසිරි සොහොයුරා නැවතත් මගෙන් මුල් පැනයම විමසුයෙන් මම විමතියට පත්වීමි.

“ මීට අවුරුදු විස්සකට කලින්, හරියටම එක්දහස් නවසිය අනූ හතර අවුරුද්දේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ පුහුණුවන තරුණ ජනමාධ්‍යවේදීන් පිරිසක් එක්ක මම මෙතැනට ඇවිත් තියනවා ...

ඔහු මදක් නිහඬ විය.

එහි ඇති අරුමය කෙබන්දක් දැයි මට එවේලේ සිතුනු නමුත් මම ඔහුගේ කතාවට ඉඩදී නිහඬවම සිටියෙමි.

... එදා මෙතැන මාත් එක්ක මාධ්‍ය සගයෝ දෙන්නෙක් හිටියා. එත් ඒ දෙන්නම අද ලංකාවේ නැහැ. එක්කෙනෙක් ජීවතුන් අතර නැහැ. අනික් එක්කෙනා ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක් කරලා කකුල් දෙකත් කඩාගෙන බොහොම අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන දැන් පිට රටක ජීවත් වෙනවා.”

ඔහුගේ මුවින් නැගුණු උණුසුම් සුසුමක් වා තලයට එක් වන සැටි මා බලා සිටියෙමි.

මම වික්ෂිප්ත වීමි.

“ එදා මාත් එක්ක හිටපු එක්කෙනෙක් තමයි පොද්දල ජයන්ත. අනිත් කෙනා තමයි යාපනේ නිමලරාජන්.”

වර්ෂ 2009 ජුනි පළමු වැනි දින සිය නිවෙස බලා යමින් සිටියදී පැහැරගෙන ගොස් වධ හිංසා පමුනුවා දෙපා බිඳ දමා මිය යාම පිණිස අතහැර දමා ගිය ප්‍රවීණ මාධ්‍යවේදී පොද්දල ජයන්ත අවංකබාවය, පාරදෘශ්‍යබාවය සහ යහපාලනය යන ප්‍රතිපත්ති වෙනුවෙන් කැපවී දිවි හිමියෙන් ක්‍රියාකළ අදීන මාධ්‍යවේදියෙකු බව නොකිව මනා ය.

රාජපක්ෂ ආණ්ඩුව යටතේ සිදු කෙරුණු මාධ්‍යවේදී පොද්දල ජයන්ත පැහැර ගැනීම පිටුපස මැර හමුදා කල්ලි සිටි බවට චෝදනා එල්ල වූ අතර රාජ්‍ය අනුග්‍රහය ඇති ඝාතක ඒකකයක් විසින් කරන ලදැයි සැක කෙරෙන මෙම පැහැර ගැනීම සිදු වූයේ ආරක්ෂක හේතූන් මත ජයන්ත තාවකාලිකව ඉන්දියාවෙහි ටික කළක් ගත කොට සිය රට පැමිණීමෙන් පසු ය.දිගින් දිගටම එල්ල වූ ජීවිත තර්ජන හමූයේ රට හැර යාමට බල කෙරුණූ පෝද්දල ජයන්ත මහතාට සිය බිරිඳ සහ දියණිය සමග 2010 මුල් භාගයේ දී ජීවිතාරක්ෂාව පතා ඇමෙරිකාවට පලා යාමට සිදුවිය. ඔහු දැන් නිව්යෝක් නගරයේ ජිවත් වෙයි. එසේම මෙම සාපරාධී අපරාධය පිළිබඳ පරීක්ෂණය නිල වශයෙන්ම නවතා දැමීමට ද පොලීසිය 2010 වසරේ අගොස්තු මාසයේ දී කටයුතු කළේය.

ඒ රාජපක්ෂ ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයේ එක් සිදුවීමක් පමණි.

මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය කර ඉකුත් වසරේ ඔක්තෝබර් 19 වැනිදාට වසර 14ක් සපිරෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය පුවත්පතට විශේෂයෙන් උතුරේ සිදුකරන ව්‍යසනයන් වාර්තා කරමින් සිටියේය. 2000 වර්ෂයේදී චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරිය ආණ්ඩුව කරවූ සමයේ, අනුරැද්ධ රත්වත්තේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිධූරය දැරෑ අවධියේ නිමලරාජන් මාධ්‍යවේදීයා ඝාතනය කරනු ලබන්නේ ඇදිරිනීතිය පනවා තිබූ රැයක, අධිආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබූ ප්‍රදේශයක, සන්නද්ධව පැමිණි කණ්ඩායමක් විසින් ඔහුගේ නිවස තුළදීම ය.

නිමලරාජන් මාධ්‍යවේදියා ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව වූයේ ඔහු විසින් දිගින් දිගටම යාපනයේ සිදුවන සිදුවීම්, සිය මාධ්‍ය ක්‍රියාවලිය ඔස්සේ ලෝකය හමුවේ හෙළි කරමින් සිටිමයි. එය ඉවසාගත නොහැකි වූ ඝාතකයින් නිමලරාජන්ව ඝාතනය කර පළා යාමට තරම් ශක්තිමත් වූයේ, එවකට ආරක්ෂක අංශවල මෙන්ම ඇතැම් දේශපාලකයින්ගේ ආශිර්වාදයත්, එම ඝාතනය පිටුපස තිබුණු බැවින් බව රහසක් නොවේ.

මහින්ද රාජපක්ෂ පරාජය කර මෛත්‍රීපාල සිරිසේන මෙරට විධායක ජනාධිපති පුටුවට පත්වූ දිනයේ ජයසිරි ජයසේකරයන් සමග මෙවැනි ඉරණම් ගමනකට එක් වීමට ලැබීම දෛවෝපගත සිදුවීමකැයි මට සිතේ. ඒ මන්ද යත් ජනාධිපතිවරණ ප්‍රතිපලයත් සමග තැනෙන නව ආණ්ඩුව යටතේ හෝ නැවත වරක් මෙසේ මාධ්‍යවේදීන් මරා දැමීම, හිංසනයට ලක්කිරීම, පැහැරගෙන යාම, මව්බිම අහිමි කිරීම වැනි බරපතල තත්වයන් ඇති නොවෙතැයි යන බලාපොරොත්තුව ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය අගයන බොහෝ දෙනෙකුගේ සිතෙහි මේ වන විට පැලපදියම් වී ඇති හෙයිනි.

නමුත් එදා ජයසිරි ජයසේකර සොහොයුරා දෙපස සිටි මිතුරන් දෙදෙනාගෙන් අයෙකුට මව් රට හැර යන්නටත් අනෙකාට අකාලයේ මරු වැළඳ ගන්නටත් සිදුවූ පාලනයන් දෙක එකම කාසියේ දෙපැත්ත ලෙස තවමත් කරලියේ පවතී නම් එවැනි පාලන තන්ත්‍රයක් තුල එසේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය අගයන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉටුවේද ? සිදුවූ එකම වෙනස පැත්ත වෙනස්ව් වීම පමණක් නොවේද ? පොද්දල ජයන්ත රටින් පන්නා දැමූ යුගයේ පාලකයා වූ රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බවට පත්විය. නමුත් එය සැබෑ ලෙසම සතුටට කරුණක්ද ? නිමලරාජන් මරාදැමූ යුගයේ පාලිකාව වූ චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග නව ජනාධිපතිවරයාගේ සෙවණැල්ල බවට පත්ව ඇති පසුබිමක එය සැබෑ ලෙසම සතුටට කරුණක්ද ?

කෙසේ නමුත් උතුරු – දකුණු බේදයක් නොමැතිව , සිංහල – දෙමළ බේදයක් නොමැතිම ඉතිහාසයේ දැවැන්තම මාධ්‍ය මර්ධනය ක්‍රියාත්මක කරමින් සිටි යුගය මහින්ද රාජපක්ෂ යුගය බව නොරහසකි. එසේම ලංකාවේ වැඩිම ජනමාධ්‍ය​වේදීන් පිරිසකට සිය ජීවිත ආරක්ෂාව පතා මෙරටින් බැහැරට යාමට සිදුවූ යුගයද එම යුගයයි. ශිවරාම්, ලසන්ත වික්‍රමතුග ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, නාමල් පෙරේරා ඇතුළු මාධ්‍යවේදීන්ට වධ හිංසා පැමිණවීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, උදයන් පුවත්පත් ආයතනය, ලීඩර් පුවත්පත් ආයතනය, සිරස, ලංකා ඊ නිව්ස්, සියත, ආදී ජනමාධ්‍ය ආයතන ගිනි තැබීම ඇතුළු ජනමාධ්‍යවලට හා ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කළ කිසිදු අපරාධයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට යුක්තිය ඉටු කිරීමට කටයුතු නොකළ යුගයද එයයි.

දැන් ඒ යුගය නිමාවට පත්වී ඇත.

නමුත් බහුතරයක් ජනතාව අපේක්ෂා කල, මාධ්‍යවේදීන් අපේක්ෂා කල සියළු සිහින එක් රැයකින් එළිවෙතියි අපේක්ෂා කිරීම අපහසුය. රට කරවන ප්‍රධාන දක්ෂිණාංශික ප්‍රවාහයන් දෙකම අප රැඳී සිටින දිය පහරේ ගං දෑල මෙනැයි මට සිතේ. දිය පහර පොදු මහා ජනතාවය. අතීතයේ එක් දිනක දිය පහර විසින් නිදහසේ ගලාගෙන විත් තම ගං දෑල තීරණය කලා විය හැකිය. නමුත් එතැන් සිට දිය කඳට සිදුව ඇත්තේ ගං දෑලට අවශ්‍ය පරිදි ගමන් කිරීමටය. නමුත් එයින් තමන්ගේ සැබෑ අවශ්‍යතාවයන් ඉටු නොවන බව දිය කඳ දනී. කල යුත්තේ ගං දෑල බිඳගෙන ගොස් තමන් අපේක්ෂා කරන ජයග්‍රහණය අත්කර ගැනීමය. ඒ හැර එක් එක් වකවානු වලදී එක් එක් පාර්ශව වලට සුදු හුණු ගෑම නොවේ.

එබැවින් සියළු ජනතාව එක්ව සිදුකල යුත්තේ වඩාත් යහපත් උන්ද, මුන්ද යන්න සොයන්නට කල් නොමරා තමන් අපේක්ෂා කරන යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැසීම යැයි මට සිතේ. එසේ නොමැතිනම් මෙතෙක් කල් සිදුකලාක් මෙන් වත්ත බද්දට දී හැමදාමත් ඇස්සට දත නියවාගෙන සිටීමේ විකල්පය භාර ගැනීමට තව දුරටත් මහජනතාවට සිදුවනු ඇත.

-සුපුන් ළහිරු ප්‍රකාශ්

ඔබ රාජිත , ආරාජික වෙන්නට පෙර

141224133529 hambantota mayor eraj fernando 512x288 bbc nocredit

 

එ්කාධිපති රාජපක්ෂ පාලනය පරාජය කරන්නට කලාකරැවන් සෑහෙන වැඩ කොටසක් කළහ. දශක ගණනක් තිස්සේ සිය මහජන කලාව යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් කැපකළ ජයතිලක බණ්ඩාර නම් වූ ජනතා කලාකරැවාට "වීදියේ විරෝධයේදී " අවස්ථා දෙකකදී රාජපක්ෂ මැ​රයෝ පහර දුන්නා පමණක් නොව දෙවන පහර දීමේදී ඔහුව පැහැරගෙන යාමටද තැත් කළහ.

එසේ හම්බන්තොටදී ජයතිලක ඇතුළු පිරිසට පහර දුන්නේ වෙනින් කවුරැවත් නොව හම්බන්තොට නගරාධිපති හෙවත් සෙල්ලම් පිස්තොල නගරාධිපති එරාජ් සහ ඔහුගේ "ටීම් එරාජ් " නැමති මැර කල්ලිය විසිනි.

අවසානයේ ජයතිලකලා ඇතුලු සෑහෙන කලාකරැවන් පිරිසකගේ දහඩිය මහන්සි​ෙය් ප්‍රතිපලයක් ලෙස ගො​ෙඩ් බයියා මැදමුලනටම තල්ලු කිරීමට මෙරට ජනයා සමත් වූහ.

එසේ නමුත් තවමත් දූපතේ යුක්තිය සහ සාධාරණත්වය එරෙහිව ඇති අභියෝග පහව ගොස් නැත. බයියාගේ බයියලා සියල්ලෝ දැන් ​මෛත්‍රී දැත් ශක්තිමත් කිරීමට බල්ටි ගසා ඇත. එම නිසා නැවත අප අවධාරණය කරන්නේ අනතුර තවමත් පහව ගොස් නැති බවයි.

ශිෂ්ඨත්වය නැවත අත්පත් කරගැනීමේ නොනවතින අරගලයක් වූ 2015 ජනාධිපතිවරණ පසු දැන් සැබෑ අරගලය ඇත්තේ ය.

මේ සටහන ලියන්නට මුලික පදනම වැටෙන්නේ වටින් ​ෙගාඩින් එන පුවත් හේතු කොට ගෙනය.

අලුත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සෙනරත් පසුගිය දිනක මාධ්‍ය හමුවේ උද්වේගකර අදහස් දක්වමින් කියා සිටියේ වැරදිකරැවන් නීතිය හමුවට ගෙන එන බවයි.

නමුත් අපට ලැබුණු පුවත් වලින් කියවෙන්නේ ජයතිලක බණ්ඩාර නම් වූ අපේ පන්තියේ මිනිසාට, ජනතා කලාකරුවාට අමානුෂික ලෙස පහර දුන් එරාජ් නම් වූ සෙල්ලම් පිස්තෝල නගරාධිපති මැරයා මේ දිනවල රාජිත සේනාරත්ත​ ගේ නිවසේ සුවයෙන් සිටින බවයි.

රාජිතගේ සහ එරාජගේ ගුරු ගෝල දිගු සම්බන්ධතාවය දන්නා අප රාජිත සේනාරත්තට කියන්නේ ජයතිලක බණ්ඩාරට පහර දුන් මැරයන්ට සෙවන සැලසීම සහ යහපාලනය ගැන කථාකිරීම ඔලුදෙකේ තක්කඩි වැඩක් බවයි.

රාජිත ඇතුලු සියලු ඔලු දෙකේ සත්වයන්ට අප අවධාරණය කර සිටින්නේ කථා ඇති බවත් ක්‍රියාවට පැමිණෙන ලෙසයි.

එවිට එම සතුන් කවුරුන්දැයි හෙළිවන බැවිනි.

එම නිසා අවසාන​ෙය් රාජිත සේනාරත්නට අනතුරු අගවා සිටින්නේ

" ඔබ රාජිත - අරාජික වන්නට පෙර හම්බන්තොට මැරයා ආරක්ෂා කිරීමෙන් වැලකී සිටින ලෙසයි."

මන්ද මේ රට පුත්තු හදා ගැනීමට වඩා වෙබ් තහනම් කිරීමට තරම් පහසු සහ අමන පාලකයන් සිටි සහ සිටින රටක් නිසාවෙනි.

මේ සම්බන්ධයෙන් රාජිත සේනාරත්තට යමක් කියන්නට ඇතිනම් අප එය ඇසීමටද සූදානම් බවද අප මතක් කර සිටිමු.

- පසන් ජයතිලක

මේ අම්මාගේ කඳුළු වලට යුක්තිය ඉටු විය යුතු ය.

 

 MotherNimalaruben

" මානව හිමිකම් " අමු අමුවේ උල්ලංඝනය කරමින් මහින්ද රාජපක්ෂගේ කුළී හේවායන් විසින් ආණ්ඩුවේ බන්ධනාගාරයක් තුළ ඝාතනය කරන ලද නිමලරූබන්ගේ දේහය තැන්පත් කර තිබුණේ නෙලුකුලම ඔහුගේ කුඩා පොල් අතු පැල තුළය. ගනේෂන් නිමලරූබන්ගේ අම්මාගේ මුවට පෙර එළියට පැන්නේ ලේ කිරි කෙරූ කඳුළුය ; සුසුමෙන්ම සුසැදි හදවතය...

‘‘ඔයාව ගහලා මරන්න නීතියේ කොහෙද ලියවිලා තියෙන්නේ. කීවෙනි වගන්තියේද එහෙම කරන්න කියලා තියෙන්නේ. මම කාටවත් බය නෑ. ඔයගොල්ලන් කවුරු උනත් කමක් නෑ. ඇවිල්ලා මට වෙඩි තියන්න. මම බය නෑ. සාධාරණය, ඇත්ත තමයි මිනිසුන්ට ඕන. පුතාට ගහලා මරපු අය සත්තු. මගේ පපුව දනවා. මගේ පුතා මරපු උන්ට කවදා හරි ඒකම වෙනවා. මම මංකොල්ල කන්න, මීනී මරන්න මගේ පුතාට ඉගැන්නුවේ නෑ. මගේ පුතාගේ තාත්තා මහන්සිවෙලා හම්බ කරලා තමයි මගේ පුතාව හැදුවේ. උන්ට හොදක් නම් වෙන්නේ නෑ.මට වෙඩිතියපල්ලා මම බය නෑ. මගේ පපුවට බුලට් ඇතුල් වෙන්න පුළුවන්. මට රිදෙන්නත් පුළුවන්. ඒත් මම බය නෑ. මට මගේ දරුවා ලැබුනේ අවුරුදු දොලහක් බලං ඉදලා. මම ගොඩක් ආසාවෙන් මම මගේ දරුවා ලොකු මහත් කරේ. මගේ දරුවා වැරද්දක් කරලා තියනවා නම් නඩු අහලා දඩුවම් දෙන්න ඕන. ඒත් මොන නීතයේද තිබ්බේ මගේ දරුවට වද දීලා මරා දාන්න. මගේ පුතා කොහේදෝ තැනක හංගලා තමා මරලා තියෙන්නේ. මගේ ඉස්සරහ මගේ පුතා මැරුවනන් එතකොට උඹලට තේරෙයි මම කවුද කියලා. දැන් දහස් ගනන් තුවක්කුත් එක්ක මගේ ගේ වටේටම ඉන්නවා. මම මුකුත් නැතුව ඉන්නේ. පුළුවන් නම් වරෙල්ලා. ඉදි ආප්ප කවපු මේ අතින් මම අද උඹට ‘වායික්කරිසි’ දානවා. මගේ පුතේ මාව එක්කං පලයං. මගේ දෙයියෝ මාවත් එක්කං පලයං.’’

ටටා බායි කියා මැදුරෙන් නික්මී ගිය ලාංකේය හිට්ලර්ට ලෙහෙසියෙන් මේ දරුණු ඝනයේ අපරාධ වලින් මිදීමේ හැකියාවක් නොමැත. කඳු ගැසූ දමිළ නිරායුධ පිරිමි අවතාරත් - දූෂණය කොට වෙඩි තැබූ ගැහැනු මුහුණුත් දැන් පෙළින් පෙළ අයියාටත්,මල්ලීටත් මැවි මැවී සේයා විය යුතුය. බුකියෙන්,මුවගින් කිඹුල් කඳුළු හෙළමින් " මහින්ද ඔයා මාරයි වස්තුවේ, පැරදෙන්න කලින්ම ජනමතයට සැලියුට් කළා, අනේ හිනාවෙලා ගියා, අපි දැන් පණ වුණත් දෙන්නං" කීමට අර අදින සූකිරි බටිල්ලන්ට ඔය කෙහෙම්මල් ජාතිවාදී සෛල ගලවා දමන්නට කියමි. මාර පරාජයටත් වඩා දරුණු 'මරා' බබෙක් නොවේය..කුඩා දරුවන් දෝතට ගත් මහින්ද මාමි හදවතින් ඔය සියලු දරුවන් උස්සා පොළොවේ ගැසූ හැටි ඇස් ඇත්තෝ දකිති.

ගෝඨාභය පණ බයේ රට පැන්නාට නිමල්ගේ අම්මා උපන් බිම හැරගියේ නැත! වෙනස වන්නේ එයයි!

මේ අම්මාගේ කඳුළු වලට යුක්තිය ඉටු විය යුතු ය. එය මෛත්‍රිය නොව සාධාරණත්වයයි!

කසුන් මහේන්ද්‍ර හීනටිගල

Picture Courtesy of Vikalpa 

 

 

සිව් මංසල