20 April 2018
RSS Facebook Twitter   

මීගමුවේ පාස්කුව: ජාතික අනන්‍යතාවයක් ගොඩනැගු ප්‍රබල ප්‍රාදේශීය කලා සම්ප්‍රදායකි.

 

Negombopassionනුතන සිංහල නාට්‍යය කලාවේ මුදුන් මල්කඩ එදිරිවීර සරච්චන්ද්‍රයන් යැයි පොදු පිළිගැනීමක් ඇත. ඔහු නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ගොඩනැගුන ජාතික අනන්‍යතාවයට ගැලපෙන නාට්‍ය සම්ප්‍රදායක් ගොඩනැගූ ප්‍රථමයා ලෙසත්, 1956 දී වේදිකා ගතකල ඔහුගේ මනමේ නාටකය මෙහිලා මුලපිරූ බවත් අද පොදුවේ පිළිගැනීයි.

Read more...

දොරෙහි අගුළු නොළා කවුළුවට රහස් පැවරිය යුතුද?

 

kaushalya bookcover

<<කෞශල්‍ය කුමාරසිංහ >> නමැති මේ නොහික්මුණු තරුණ මිනිසා සමඟ මට ඉපැරණි කෝන්තරයක් ඇත. රාවයේ නිර්මාණ වපසරිය මවිසින් බිම තැනුණු අවදියේ පැනැ නැඟි කෝන්තරයකි. දැන් මා මේ හිත හදා ගනිමින් සිටින්නේ අත පය දිග හැර එහි වාඩුව ගැනීමට ය. කතා දෙකක් නැත. ඔහුගේ කවුළුදොර ඉවර ය.

මම පසුගිය සති දෙක පුරා විටින් විට රෝන් ගං ඉවුරට පල්ලම් බැස්සෙමි. සීතලේ වෙවුලුම්කමිනි. ඇවිත් එබෙන්නැයි කියමින් ඔහු අප කැඳවනා රහස් කවුළුවේ පළිඟු වීදුරු සුණු විසුණු කරලනු පිණිස ඈත සිට ගල් ගසන්නට, හොඳන් මැදී ඔප මට්ටම් වුණු ගඟ පතුළෙහි වන රවුම් ගල් සොයන්නට ය. දැන් ඉතින් මා සන්නද්ධ ය.

කුටුම්භගත ප්‍රේමාදර්ශය

‘‘මේ රහස් කවුළුවෙන් එබෙන්න‘‘නම් වන ඔහු නවකතාව තරණයෙහි එන පසුපසට ගෙන ගිය පෙරවදන ඔස්සේ මම ඔහුගේ මහගෙදරට ගොඩවදිමි. අම්මා තාත්තා නිවස්නා තැනට ය. එතැන වියපත් නොවනා සුවිසල් ප්‍රේමයක් ඇති බව හැඟවේ.

‘‘වචන යනු ලොව සුන්දරම දෙයක් බව මට වටහා දෙන්නේ තාත්තා ය. මා කියවන පළමු නවකතාව මුල සිට අගට මා වෙනුවෙන් මට ඇහෙන්නට කියවන්නේ තාත්තා ය. තාත්තා කියාදෙන වචන වලින් ආදරය කරන්නට හැකි බව කියාදෙන්නී අම්මා ය. මෙලෙස, වචන කෙරෙහි වන ආශාව පැල කරන්නේ ඔවුන් ය. ‘‘

දෙමාපියන් කෙරෙන් උත්පාද කරගන්නා ලද වදන් ලලාසාව ගැන පවසන කෞශල්‍ය ඔවුන් කෙරෙන් උත්පාද කරගන්නා ලද ප්‍රේමය සඟවන්නේ ඇයි? මට අනුව නම් ඔහු පෙරවදන පසුපසට ගෙනයන්නේ ම මෙකී ප්‍රේමය පූර්ව වශයෙන් සඟවාලන්නට ය. ඔහු එසේ කරන්නේ ඇයි? ඔහු මහ ගෙදර අත්දකින කුටුම්භීය ප්‍රේමයත් ඔහු සමාජයීය වශයෙන් අත්දකින කුටුම්භීය ව්‍යාජයත් අතර ඉස්මතු වන බරපතල විසංවාදය සඟවාලන්නට ය. මගේ කියවීමට අනුව ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න‘‘ කෘතිය පරිපාකයට පත්වන්නේ ඔහු එක විට අත්දකින මේ සමාන්තර ජීවන අත්දැකීම් අතර ඇති අන්තරයේ උත්පාද වන නිර්මාණ වේදනාව නිසා ය. ඔහුගේ නිර්මාණ ශ්‍රමය බරපතල ලෙස බාරගත යුතු වන්නේ හුදෙක් කෘතිය තුළ අන්තර්ගත කරන ලද වචන කන්දරාව නිසා පමණක් නොවේ. ඔහු නොකියා දරාගෙන සිටින වචන කන්දරාව නිසාය.

නමුත් ඉහතින් මා ගොඩනඟන තර්කය සඟවාලන්නට ඔහුට කෘතිය තුළදි පවා නොහැකි වෙයි. කෘතියේ ‘නීත්‍යානූකූල“ උගුල් අටවන්නා වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥවරයකු වන ඩිලාන් නම් මිත්‍ර චරිතය කෘතියේ 88888 පිටුවේ දී එය අපට මෙසේ පහදයි.

‘‘මේ අහපං තිවා...ආදරේ කියන්නෙ පරණ දෙයක්. මිනිස්සු දැන් ආදරේ කරන්නෙ පැෂන් එකට. ඒක හරියට ඇන්ටික් බඩු එකතු කරනවා වගේ වැඩක්. මට කියපං අපේ එක යාළුවෙක් එක ගෑනියකුට විතරක් එක සැරේකට ආදරේ කරන. මං දන්නවා අපේ තාත්තා ආදරේ කළේ අපේ අම්මට විතරයි. අපේ අම්මත් එහෙමයි. උඹලෑ අම්මයි තාත්තයිත් එහෙමයි. මං අහන්නෙ අපේ ජෙනරේෂන් එකේ කවුද එහෙම ඉන්නෙ. දැන් පිරිමින්ට එක සැරේකට ගෑනු ගොඩකට ආදරේ කරතැහැකි. ගෑනුන්ටත් එහෙමයි. ඒක උංගෙ වැරැද්දක් නෙමෙයි. ඒක මේ කාලෙ හැටි.‘‘ (පිටුව 69)

මෙවන් යථාර්ථයකින් අප වෙත දමා ගසනා මෙම නරුම ලේඛකයා වෙත ගල් ගැසිය යුත්තේ කෙසේදැයි මම සීතලේ ගල් ගැසෙමින් නොගැසෙමින් කල්පනා කරමි. ඉදින් කෙබඳු කෝන්තරයක් තිබියේ වුව ඔහුගේ රහස් මම මෙසේ සිතමි. කවුළුවට රවුම් ගල් ගැසිය යුත්තේ එහි පළිඟු වීදුරු බිඳ දමා එහි සඟවා ඇති නිර්මාණාත්මක රහස් නිරාවරණය කර කෘතිය මෙන්ම කතුවරයාව ද පාඨක සහෘද සමාජයට සමීප කළ යුතු යැයි යන සාහිත්‍යයික චේතනාව පෙරදැරිව ය. එකී චේතනාව ඕපපාතික නොවේ. එය උත්පාද කෙරෙන්නේ ද කෘතිය විසින් ම ය. ඔහු සිංහල ඔරිජනිලීය අලුත් කියවීමකට අප සමීප කරවන බැවිනි.

kashalya k crop ඒත් කෘතිය ව්‍යුහාත්මකව සංකීර්ණ නැත. කාලාවකාශය ගතහොත් අතිශයින් සීමිතය. දින දෙක තුනකි. ඒත් ඒ දින දෙක තුන මත පදනම්ව කතාකරුවා කියවන්නා ඥානනය කරන්නට වෑයම් කරනුයේ ජේයාරියානු සමාජාර්ථික දේශපාලනික විකෘතියෙන් පසු කුටුම්භගත ප්‍රේමයේ ස්වභාවයයි. එය තිස්පස් වසරක් ඉක්මවූ විපරිතයකි. බොහෝ විට කතාකරුවාගේ සමස්ත ජීවිතය ස්පන්දනය වී ඇත්තේ ගෙවී යන වකවානුවේ කුඨප්‍රාප්තියට පත්වෙමින් පවතින ජේයාරියානු සන්ධර්භයකයි.

කෙසේ නමුත් මෙවන් සමාජ යථාර්ථයකට මුහුණ දෙමින් සිටිය ද වික්ටෝරියානු නෂ්ඨාවශේෂ කර ගහගත් සමාජයට ඔහු බැරියරයක් දමයි. ඔහු මුලින් දක්වා ඇති ස්තූති සටහනේ මෙසේ ලියා ඇති බව පෙනෙන්නට වන්නේ පසුව ය. ඒත් එකී එක් වැකිය වුව මා පවසන දේට සමාන්තරය.

‘‘අවසාන සංස්කරණය කියවා පළමු විචාරය කරන්නේ තාත්තා ය‘‘

පොතින් පරිබාහිර මෙකී වැකිය වනාහී මා කියනා බැරියරයයි. සාහිත්‍ය විචාර සෙයියාවෙන් ගලේ පහරා ගන්නා සංස්කෘතික පොලිස් බළලන්ට ඔහු කලින්ම දැනුම් දෙන්නේ ‘‘බොලා කලබල වෙන්න එපා අන්තර්ගතය ගැන. ඒක මගේ තාත්තා අනුමත කළා.‘‘ යන්නයි. එබැවින් කිසිඳු සදාචාරවාදියකු කලබල විය යුතු නැත. කලබල වන්නේ නම් ඔවුන්ට අවශ්‍ය උපදෙස් කෘතිය තුළ සම්පාදනය වි ඇත. මූලාරම්භ වැකියෙනි.

නවකතාමය සන්දර්භය

‘‘ඉතින්, ගෙවී යමින් ඇති මේ උණුසුම් උදෑසන, වා තලයේ නිසල මොහොතකට අප සෙමින් නගරය මතට පහත් වෙමින් සිටිනවා. ඉහළින් නරඹන විට අපට දැනෙන්නේ මුළු නගරයම නැවතී හුස්ම ගන්නා ඇතුළත විනිවිද දැකිය හැකි දැවැන්ත ජීවියකු ලෙස ය.‘‘ (පිටුව 2)

සියල්ල නැරඹුම්කාමය අවුළුවමින් ‘විහඟ ඇසක පෘෂ්ඨිය‘ ඔස්සේ දිවෙන බව භාෂාත්මක සත්කාරය කුළ පෙනුන ද සමස්ථ විග්‍රහය මතුවන්නේ පළල් දේශපාලනික පදනමකිනි. ඒ වනාහී තෙත විරහිත, කර්කෂ, ඒකාකාරී, නීරස සමාජාර්ථික වටපිටාවයි. එහි න්‍යෂ්ටියේ වන න්‍යෂ්ටික පවුල මත පර්යාලෝකය තබන නිර්මාණකරුවා තමාගේ සමාජ කියවීම ඔස්සේ නැරඹුම්කාමීයා ඥානනය කිරීම අරඹයි. මෙම සාහිත්‍යයික කැරැල්ල මතුවන්නේ නිස්සාර නීරස ජීවිත සාරයට එරෙහිව ය. නිදහස්කාමය ඇවිලිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව නිර්මාණකරුවා සබුද්ධික ය.

මෙහි තේමාව නැරඹුම්කාමය බව සමන් වික්‍රමාරච්චි පවසයි. නමුත් මට අනුව එය තේමාව ලෙස මතුකර ගැනෙන ප්‍රවාදයක් සම්පාදනය කරගන්නට කෞෂළ්‍ය, කියවන්නාව සාහිත්‍යයිකව පොට පටලවයි. මෙලෙසිනි. ‍

‘‘අපේ නැරඹුම්කාමී ඇස අප අවට කිසිදු කෙනෙක් හෝ තැනක් මත ආශාවෙන් නාභිගත නොවන්නේ ඇයි දැයි අපට වැටහෙන්නේ නැහැ. ‘‘(පිටුව 4)

ඒ අනුව, මුඛ්‍ය තේමාව අතහැර දමන කියවන්නා ස්වකීය නැරඹුම්කාමී මනස පෙර පෙළ තුළ සොයයි. නමුත් ඇත්ත වශයෙන්ම නම් කෘතියෙහි වචන අතර වන අවකාශය විසින් නිර්මාණය කෙරෙන තේමාව වන්නේ නිදහස්කාමයයි. එය ‘නිදහස්කාමය‘ මිස ‘නිදහස් කාමය‘ නොවේ. කියවන්නන්ට නිදහස් කාමය ලෙස කියවාගන්නට ඉඩ හැරියද මේ වනාහි සැබැවින්ම ‘‘නිදහස්කාමය‘‘ පිළිබඳ සහෘද ඇස් අරවන වියමනකි.

කියවීමේ මහන්සිය වෙනුවට සිනමාපට නැරඹීමේ සැහැල්ලුවට හිත හදාගත් ගරිල්ලා සිනමා පරපුර සමන්ගේ කියැවීමේ මඟ පෙන්වීම අනුව යමින් පටලවා ගන්නට පිළිවන. ඒ අනුව තම තමන්ගේ නැරඹුම්කාමී හද කවුළු ඇරගන්නට පිළිවන. නමුත් මෙය නැරඹුම්කාමී නවකතාවක් නොවන බව මම යළිත් පවසමි. ඔවුනට සමනල අත්තටු යටින් යටි පෙළ මඟ හැරෙන්නේ එබැවිනි.

මම මෙසේ පවසමි. මෙහි නවකතාමය සන්දර්භය අපට අභිමුඛ වනුයේ විදුලි සෝපානයෙන් එළියට බහින්නට අවශ්‍ය වන මොහොතේදී ය.

‘‘when butterflies fly they say this is hope.‘‘ එසේ පවසන්නී සිටින්නේ රෝද පුටුවක් මත ය.ඔහු ඉදිරියේ රෝද පුටුවකට බරවී මඟ අවුරාගෙන සිටින ඇයට කිසිසේත්ම ඔහුව පෙනෙන්නේ නැත. ඇය සිටින්නේ ඇතුළාන්තයට බර ඇස් දෙකකින් යුක්තවය. ඇයගේ බැල්ම එල්ල වී ඇත්තේ තමන් තුළටම මිස ඇහි පිල්ලමින් පරිබාහිරව නොවේ.

ඇය වාම ක්‍රියාකාරිනියකි. ඇය ශාරීරිකව මෙන් ම ආබාධිත බව කතාකරුවා කියයි. මෙය හුදෙකලා ස්ත්‍රියක් ගැන ප්‍රකාශනයක් පමණද? ඇය ලුහුබැඳ යන්නේ විමුක්තියයි. ඇගේ අපේක්ෂාව නිදහසයි. ඒත් කතාකරුවා ඇගේ අවිඥානය අනන්‍ය කරනුයේ සමනල අධ්‍යාත්මයකයි.

යා යුතු වන්නේ කොහිටදැයි ඔහු ඇගෙන් අසයි. උත්තරය සැහැල්ලු ය. මෙයාකාර ය. ‘‘‘පාරාදීසය නම් මෙය වන්නේ වෙයි. සමනල ජනයා එහි සිට පැමිණෙන්නේ වෙයි.‘

සමනලයන් එන්නේ ස්වර්ගය දෙසිනි. එබැවින් ඇය ස්වර්ගය දෙසට පියාඹා යනු පිණිස රෝද පුටුව අතෑරදා අවකාශයට දෑත් විහිදුවයි. අවසානය? මරණයයි. පූර්ණ නිදහස පිළිබඳ අපේක්ෂාව යනු මරණය අත්විඳීමද? රහස් කවුළුවේ ගැටි ආපසු හැරී එමින් නින්නාද නංවන්නේ මෙකී දේශපාලනික ගැටළුවයි. කෞශල්‍ය තේමාත්මකව කියවන්නාට අබිමුඛ කරනුයේ මෙකී දේශපාලන ගැටළුවයි.

නිදහසේ අපේක්ෂාව මෙයාකාරව එකල මෙකල වෙයි. ඇතැම් විට රිද්මීය වේ. රිද්මීයබව වුව වේදනාවෙන් උපදින්නේ වෙයි. ඇගේ අධ්‍යාත්මය කෙරෙන් නැඟ ආ ගීතය නතර වූයේ, අබාධිත ශාරීරකායකයක් උසුලා දාරාගත් අනාබාධිත මා අනුමාන කරන මනෝකායක ප්‍රාර්ථනය, නිදහස හා සමපාත වෙමින් පවතිද්දී ය.

ඔහු සෝපානයෙන් එළියට බසින්නේ කතාකරුවා විසින් කියවන්නා තුළ මෙම සංකේතමය අදහස් ස්ථාපනය කරනු ලැබීමත් සමඟිනි. විනාඩි කිහිපයක් ඇතුළත සමනල ගීතයේ සංකේතාර්ථය ඔහුට ග්‍රහණය වේ. නිදහස පිළිබඳ අරුතේ පළල ඔහුට අත්දකින්නට ලැබෙන්නේ ස්වකීය බිරිඳ හරහා ය. නිදහස සොයා ගෙදරට එන ඔහුට සැබෑ නිදහස මුණගැසීම නිසා ඔහු මුළුමනින්න්ම ඇතුළාන්තයට බරවූ දෑසක් සහිත මහළු කාන්තාවගේ අද්‍යාත්මය බවට පත්වෙයි. ඔහුගේ සමනළ තටු බිදී ඉරී යන මුත් ඔහු විසඳුම් සොයන්නේ පාරාදිස දෙසට අඩියක් තැබීමෙන් නොවේ. නවකතා ශරීරිය ගොඩනැඟෙන්නේ මෙකී තීන්දුව ඔස්සේ ය.

ඉන් අනතුරුව ඔහු භාෂාව හරහා ගොඩ නංවන සංකේත පද්ධතියෙන් මතුකෙරෙන අන්තරභාෂණය අතිශයින් බරපතල ය. සහෘදයාට කිසිවක් මඟ නොහැරෙන්නේ ඉන් සම්පාදනය වන අන්තරඥානය නිසා ය.

කෞව්වා නම් වන මේ හිතුවක්කාරී ලියන්නාගේ ද මිත්‍ර සනුහරයෙන් කෙනෙකු වන මා මිත්‍රවර චින්තන ධර්මදාස මෙසේ පවසයි.

'සම්පූර්ණ කතාවම හැදෙන්නෙ නැරඹුම්කාමී ඇහැකින්. මේක චිත‍්‍රපට පිටපතක් වගේ කියලා කියනවට වඩා මං හිතන්නෙ මෙතැනදී වැදගත් වෙනසක් යෝජනා කරනවා. ඒ තමයි කියවීම ඉවර කිරීම කියන අදහස. කියවීම අත්අරින්න කියලා මං කලින් කියපු අදහසකදී මට වුවමනා කරපු මතුකිරීමත් මේක. අපිට කියවන්න වෙනුවට බලන්න තියෙන පොතක්.'

ඔහු මෙම කෘතිය මත පදනම්ව ස්ථාපිත කරලන්නට වෑයම් කරන ප්‍රවාදය වනාහී ‘කියවීම අවසන් දැන් ඇත්තේ නැරඹීම පමණකි‘ යන්න. භාෂාව නොදන්නා බව තර්කනයට ඌනනය කිරීමට වඩා, භාෂාව මත ගොඩනැංවෙන සංකල්ප රූප සාහිත්‍යයේ අන්තර්ගත වන බව පිළිගැනීම වඩා වැදගත් ය. එසේ නොවේ නම් පිටපත් ලියන්නන් තවදුරටත් අවශ්‍ය නොවේ. නමුත් සැබෑව නම් නැරේෂනයන් ගමන් කරනුයේ ‍භාෂාව හරහා ගොඩනංවන ලයින් එක මත වීම ය. මෙසේ භාෂාව සහ සාහිත්‍යය අවතක්සේරු කරන්නට පෙර, අවම වශයෙන් සිනමාව හෝ විඳදරාගත් අයුර සන්නිවේදනය කරලීමට භාෂාව අත්‍යවශ්‍ය මෙනෙහි කරලීම අතිශයින් වැදගත් ය.

පිටු අතරෙහි සමනල තටු

මෙහි නවකතාමය සන්දර්භය කියවන්නාට අබිමුඛ වන්නේ සමනලුන් ලුහුබැඳ යන වයෝවෘධ ස්ත්‍රිය හරහා බව මම කීවෙමි. වියමන පුරුද්දන සමනල සංකේත තෙක්ම කැඳවාගෙන යාමට කතාකරුවා සමත් වෙයි. එය අත්‍යවශ්‍ය වන්නේ වන බැවිනි.

When butterflies fly
They say this is hope
(පිටුව 12)

'කෙල්ලගෙ වැඩේ සමනල්ලු පස්සෙ යන එක. හැමතිස්සෙම කෑගහනවා සමනල්ලු යන්නෙ කොහාටද කියලා. එයැයිට හරියට කතා කරන්න පුළුවන් වචන දෙක තුනයි. පුදුමෙ කියන්නෙ සර් එයා යන යන තැන සමනල්ලු ආවා. එක එක පාට සමනල්ලු. සමනල්ලු පස්සෙ දුවන කෙල්ලෙක්ව කිඹුලෙක් ඇදන් යයි කියල කවුද හිතන්නෙ සර්. මං නං තාම විශ්වාස කරන්නෑ. ඒත් දැන් නං අපේ වත්තට සමනල්ලු එන්නෙම නෑලු. පුදුමයි නේද සර්. හරියට සමනල්ලු අපේ අක්කව අරන් ගියා වගේ.' (පිටුව 88)

'තණ යාය මත නවතිමින් යළි යළිත් පියාඹන සමනලුන් දෙදෙනෙක් අපට පෙනෙයි. දෙදෙනාගේම පියාපත් මත ඇත්තේ දුඹුරු කළු සුදු රටාවකි. පද්මිගෙ දෑස් ඉක්මනින් සමනලුන් සොයා ගත්තේ ය. ඈ උන් දෙස බලා ඉන්නා විට ඇගේ මුහුණේ සමෝධානය බිඳී ගියා සේ අපට දැනෙයි. ඇගේ දෑස් මත ඇති වූ අපට වචනයෙන් ආදේශ කළ නොහැකි කිසියම් වෙනසක් ඇගේ මුහුණේ සමස්තය පිළිබඳ අප විපිලිසර කරවයි.

‘‘මං සමනලුන්ට බයයි සඳා. ‘‘ (පිටුව 96)

පද්මි කවි ලියයි. සරසවි ආ සමයේම ඈ ලියූ කවියක සමනල්ලු ගැන වෙයි. පද්මිගේ ප්‍රේමය වන සරසවි සිසුවා ඇයව මුලින් සොයා එන්නේ එකී කවිය නිසා ය. ඔහුත් කවියෙකි. ඔහු සොයන්නේ සරසවියට අලුතින් ආ සමනලයා කොහේද යන්නය. එසේ සමනලයා ලුහුබැඳ ආ ශිෂ්‍යා අතුරු දහන් වෙයි. එය පද්මිට අදාලව ඇගේ ජීවිතේ පුනරූපනය වීමකි. කතාකරුවා පද්මි අතට මෙවන් සමාලාපයක් ලබා දෙයි.

‘‘ලොකු අයියත් කවි ලිව්වා කමල් අයියා වගේ. ලොකු අයියා අතුරුදහන් වෙන්නෙ ඒ නිසා, දේශපාලනයක් හින්දා නෙමේ. ඒත් එයාගේ කවි හරි අමුතුයි සඳා. ඒ හැම කවියකම වගේ සමනල්ලු හිටියා. ඒවා කාටවත්ම තේරුණෙ නෑ. ඒ හින්දා හමුදාව සැක කරලා තියෙනවා ඒ කවි වලින් කැරලිකාරයො රහස් පණිවිඩ හුවමාරු කරගන්නවා කියලා.‘‘ (පිටුව 98)

ලොකු අක්කාගේ සමනල ලුහුබැඳීම ඇරඹෙන්නේ ලොකු අයියාගේ අතුරුදහන් වීමෙනි. ලොකු අයියාගේ ප්‍රේමවන්තිය ඔහු යළි එන බව විශ්වාස කරයි. එය අඛන්ඩව පවතින අචපල විශ්වාසයකි. ඔවුන්ගේ සෙල්ලම් ලෝකයේ දියණිය වූ පද්මිගේ සමනල්ලු ලුහුබඳින ලොකු අක්කාව ඇය අඛන්ඩව දරුවෙක් සේ බලා කියා ගනී. එකී දරුවා කිඹුලකු ඩැහැගත් පසු නිර්මලී නම් වන ලොකු අයියාගේ ප්‍රේමවන්තී ද දිවි තොර කර ගනී. මෙසේ ලියා තබමිනි.

‘‘මට සමාවෙන්න ජයන්ත. මට අපි දෙන්නගෙ චූංගිව පරිස්සම් කරගන්න බැරිවුණා. මට ආයෙත් ඔයාගෙ මූණ බලන්න බෑ ජයන්ත. මමත් යනවා. සමනල්ලු කොහාටද යන්නෙ ජයන්ත? ඔයා ඒක දන්නවා.‘‘ (පිටුව 101)

මේ වනාහී අධියථාර්ථය යන සලුපිළිවලට මුවා වූ ජීවන යථාර්ථයයි. මෙසේ ආරම්භයේදීම විදුලි සෝපානයක් තුළින් මතුවූ සමනලාත්මක සංකේතය හෙවත් නිදහස පිළිබඳ අදහස නවකතාවේ අවසානය තෙක්ම පවත්වා ගැනීමට කතාකරුවා සවිඥානකය. මිනිස් සන්තානයේ පරිකල්පන තුළ සිටි සමනලයා ඔහු අවසානය වෙත රැගෙන එන්නේ අතිශයින් විද්‍යානුකූල ස්වරූපයකිනි. නමුත් ඔහු ඊට මොහොතකට පෙර ආරම්භය මෙනෙහි කරවයි. ඒ අටවැනි පරිච්ඡේදයේ අවසානය ආසන්නයේ ය. ‘‘When butterflies fly , They say this is hope‘‘ කතා කරුවා යළි ආරම්භය මෙනෙහි කරයි. ක්‍ෂණයකින් වෙස්සන්තර කාව්‍යය අපට කියවන්නට සළස්වයි.

සමනලයා විද්‍යානුකූලව කියවන්නට සලස්සන්නේ අනතුරුව ය. ඒ නම් අතිශයින් ප්‍රශංසනීය තාක්ෂණික ක්‍රමවේදයකි. බලන්න!

‘‘තිරය මත විකාශය වෙමින් තිබෙන්නේ සමනලයාගේ ජීවන චක්‍රයයි. විවිධ වර්ණ මනස්කාන්ත සමනලුන්ගේ බිත්තර වලින් දළඹුවන් හට ගෙන දළඹුවන් සමනල කෝෂ තුළ අතුරුදහන්ව ගොස් සමනල කෝෂ තුළින් යළිත් මනස්කාන්ත සමනලුන් බිහිවන අයුරු දර්ශනය වෙයි.‘‘ (පිටුව 243)

මෙසේ ඔහු නවකතාවේ කූඨප්‍රාප්තිකර මොහොත තෙක්ම විද්‍යානුකූල සමනලයා භෞතික සංසිද්ධිය හා සමනාතරව ගමන් කරවයි.

'ජුම්මා මස්ජිඩ් පල්ලියේ දිවා යාඥාව දැන් වඩා තීව්‍රව ඇසෙයි. දළඹුවා සෙමෙන් සමනළ කෝෂය තුළ ගිලී යමින් සිටියි.' (පිටුව 248)

'සමනල කෝෂයෙන් මේ දැන් බිහිවූ සමනලයෙක් පියාපත් සලමින් ඉගිල යන්නට තැත් කරයි.' (පිටුව 254)

ඒත් කතාකරුවා විද්‍යානුකූල සමනලයාට අවසානය බාර දෙන්නේ නැත. යළි පරිකල්පිත සමනලයා කියවන්නාට අභිමුඛ කිරීමට තරම් කතාකරුවා භාෂා තාක්‍ෂණික ඉවහල් කරගනී. ඒ කිවිඳියක බවට රූපාන්තරණය වෙමින් සිටින පද්මි නම් වන සරසවි චරිතය ඔස්සේ ය. මෙසේ ය.

‘රතු කලු සුදු පියාපත් ඇති ලොකු සමනලයෙක් ඇයට ඉදිරියෙන් පියාඹා යන බව දැන් අපට හදිසියේම පෙනෙන්ට ගනියි.‘‘(පිටුව 255)

'සමනලයා විදුලි පඩිපෙල අසල කැරකෙමින් සිටියි. පද්මිගේ දෙපා පළමු පඩියට ගොඩ වූ විට සමනලයා ද පඩිපෙලට ඉදිරියෙන් පියාඹන්නට විය.' (පිටුව 256)

කතාකරුවා එපමණකින් නොනවතී. ඔහු ස්වකීය සංකේතාත්මක ගොඩනැංවීම මත කලාත්මක දැනුම වපුරයි. අතිශයින් රමනීය පසුබිමක් අනාවරණය කරමිනි.

‘‘ඒ ‘බටර්ෆලයි ලවර්ස්‘ කොන්සේටෝව බව අප වටහා ගන්නේ වයලීනයෙන් වැටෙන සංගීතයේ ඇති චීන හා බටහිර සංගීත සංකලනය නිසාම නොවේ. එහි හැම ස්වරයකින්ම සමනල පෙම්වතුන්ගේ චීන පුරාවෘත්තය අපට ඇසෙන නිසා ය. සමනලුන් බවට පත්වන මියගිය ප්‍රේමවන්තයන්ගේ ආත්මය වයලින් තත් අතරින් මිදී ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සීතල සුවඳ අවකාශය තුළ සැරසරනු අපට දැනෙයි.‘‘ (පිටුව 256)

කතාකරුවා සමනල දෘෂ්ඨි මායාවක් පසුපස පද්මි රැගෙන යන්නේ කොළඹ ආර්ථික මර්මස්ථානයේ විදුලි සෝපානයක් වෙතටය. පද්මිගේ දෙතොලෙහි රැඳි ඇති මන්දස්මිතය දිව්‍ය ප්‍රතිමාවක දිව්‍යමය මන්දස්මිතයක් ලෙස දකින්නට ඔහු කියවන්නාට යෝජනා කරයි. ඒ වනාහි පද්මිගේ ජීවිතයේ අවසාන භෞතික මඳහස නොවන්නේද? ඉන් අනතුරුව නිදහස?

කතාකරුවාගේ සාහිත්‍ය භාවිතය ගැන අඛන්ඩ විශ්වාසයක් පවත්වා ගැනීමට මෙකී සංකේතමය උසුලා දරාගැනීම වුව සෑහෙන බව සැහැල්ලු හදවතින් ලියා තැබිය හැකි ය.

සමාජමය තදියම

තදියම සමාජ නිර්මිතයකි. එය මෙහි සියලු චරිතවලට අදාලව ගත්ත ද යථාර්ථයක් ලෙස සාක්ෂාත් කරගනු හැකිය . විකෘතිකර ආර්ථිකය විසින් අපට රහස් කවුළු විවර කර දී ඇත්තේ තදියම් සහගත සමාජ ජීවිතයකට ය. නිවාස සංකීර්ණයක සංකීර්ණ ජීවිත ගතකරමින් සිටියදී වුව හැමිණෙන්නට ඇති තදියම හේතුවෙන් දොර වසන්නට අමතක වන්නේ එබැවිනි. කතාකරුවාට වියමන පිණිස සන්තානමය රිදුම් දීම පහළ වන නිමේෂයේ ම, එහි ව්‍යුහය සකසා ගැනීම උදෙසා මෙකී තදියම සන්ධර්භයේ පෙරගමන්කරුවා වෙයි. ඉදින් හැකි ඉක්මනින් මෙය කියා අවසන් කළ යුතුය. ඉදින් කාලාවකාශයට නිර්මාණය උදෙසා නොව නිර්මාණය කාලාවකාශය පිණිස යොදා ගැනීම පහසු තාක්ෂණයකි. පාත්‍රවාර්ගයා තුළ ඇතැයි කියවන්නාට හැඟෙන සියල්ප සැබැවින්ම පවතින්නේ නිර්මාණකරුවා තුළය. කතාකරුවාගේ තදියම්කාර ග්‍රහණයෙන් මිදී හුස්ම ගන්නට හැකිවන්නේ කේෂානි හෙවත් කේෂු නම් වන ගැහැණියට පමණ ය. ඒ නිදහස ඇයට පැවරීම අතිශයින් සාධනීය ය. එබැවින් අන් සියලු තදියම්කාරකම් වලනිර්මාණකරුවට සමාව දීමට මට නම් පිළිවන. කේෂු, මෙහි කේන්ද්‍රීය චරිතය ලෙස හඳුන්වන්නට මා කැමතිය. කියවන්නකු ලෙස මා තුළ එවන් අදහසක් පහළ වන්නේ සහේතුකව ය. රහස් කවුළුව තුළ වන පැසුණුබව පිළිබිඹුවන්නේ ඇය තුළිනි. සම්භෝගය සුරතාන්තයට පත්වන හැටි ඇය දනී. ඒත් ආදරය සුරතාන්තයට පත්වන්නට එහි සීමාවන් පළල් කළ යුතු බව ඇය පවසන්නේ ආරම්භයේදීමය. අවසානයේදී පවා සියල්ලන් අභිභවමින් තීන්දු ගැනීමේ බලය ඇයම පවරාගෙන හිඳී. ඇත්තටම සන්තානය හෙළිදරව්ව වන්නට ඉඩ දෙන්නේ ඇය යි. අන් සියල්ලන් කතාකරුවා අණවන පරිදි හෙළදරව් වන්නට පේ වී හිදී. කිසිදු ව්‍යාජයක් නොමැතිව, කිසිදු සැඟවීමක් නැතිව කේෂුගේ අ‍ධ්‍යාත්මය විකසිත වීම මෙහි එක විශාලම අදහසයි. ආසියාතික මහා කලා සම්ප්‍රදාය තුළ අකිර කුරසාවා විවාහක අඹු සැමියන් හුවමාරු කරගන්නා තැනට සිනමාව ගොනු කරයි. එබැවින් සම්භාව්‍ය කලා සම්ප්‍රදායේදී කෞශල්‍ය අබිමුඛ කරන යථාර්ථය කියවන්නා සසල කරනසුළු මහා ගැටළුවක් නොවේ. තෙකරම් තදියම් සහගත බවකින් යුතු වුවද, ඔහුගේ මැදිහත්වීම අතිශයින් සාධනීය වනුයේ එය ලාංකීය සන්දර්භයක් මත පණ පිහිටුවන එක ය.

කෙටියෙන්ම කිවයුත්තේ මෙයයි. රහස් කවුළුව යනු කියවන්නා නම් වන තැනැත්තාට හෝ තැනැත්තියට ඇති නිදහස පිළිබඳ ලලාසාවයි. එබැවින් කතාකරුවා කතාවේ නම යෝජනා කරන්නේ අන්තර්ගතයට නොව කියවන්නාට බව මම පවසමි. මන්ද යත් මෙකී නම සෘජුවම කතාවට අදාල නො වුණද නමේ පදනම පාඨකයා වන බැවිනි. තර්කයක් ලෙස ගොඩ නඟන්නේ නම් එය මෙබඳු ය.

මේ රහස් කවුළුවෙන් එබෙන්න යැයි ඔහු කීවද නවකතාවේ තීව්‍රතාව කියවන්නාට මුණගස්වන්නේ කවුළුවක් තුළින් එබීමට සැලැස්වීමෙන් නොවේ. අගුළු නොලෑ දොරක් හරහා කියවන්නාව ගෙතුළට රැගෙන යාමෙනි. මෙවැනි ගලා නොයන සමාජයක ප්‍රේමයට අදාල වැදගත් සංසිද්ධියක් සිදු වෙමින් පවතිද්දි, නිදහස් ප්‍රේමයේ දිගුවක් නොහොත් නිදහස්කාමය පිළිබඳ අදහසක් සංවාදයට බඳුන් වෙමින් තිබියදී දොර වැසී තිබිය යුතුයි. එවැනි අමතක වීම් සිදුවිය නොහැකියි. එබැවින් මෙසේ දොර ඇර තබා ඇත්තේ කේෂානි නොව කතාකරුවා වන කෞශල්‍ය බව පැහැදිලි වේ. මේ තදියම්කාර ලියන්නා දොර ඇර තබයි. එබැවින් ගෙතුළට යාමට හැකියාව ලැබේ. දොර වැසී තිබුණේ නම් මේ රහස් කවුළුවෙන් එබෙන්නට ලැබෙන්නේ නැත. එවිට මේ නිශ්චිත පොත ලියවෙන්නේ නැත. පොතක් ලියැවෙන්නට පිළිවන. නමුත් ඒ වෙන පොතකි.

සමෝධාන උපුටන දෙකක්

එංගල්ස් ස්වකීය ‘පවුල, පෞද්ගලික දේපල හා රජය ඇති වූ හැටි‘ කෘතියේ මෙසේ පවසයි.

‘‘ඒ අනුව විවාහ වීමට සම්පූර්ණ නිදහස ඇති විය හැක්කේ ධනපති නිශ්පාදනය ද එය විසින් ඇති කරන ලද දේපල පිළිබඳ සබඳකම් ද නැති කර දැමීමෙන් පසුව ය. සහකරුවකු තෝරාගැනීමේදී අතිශයින් බලපාන සියලු ආර්ථික සාධක නැති කර දැමීමෙන් පසුව ය. ඉන් පසු අන්‍යෙන්‍ය හිතවත්බව හැර අන් කිසිවක් ඉතිරි නොවේ.‘‘

මේ නිශ්චිත මොහොතේ ගෝලීය ප්‍රාග්ධනය විසින් සමස්ත සමාජ දේහයම වෙළෙඳ පොලක් බවට පත් කරනු ලැබ ඇත. ඊට සමාන්තරව සමස්ථ සමාජයම මෙකී ප්‍රාග්ධන උවමනාවන්ට අනුරූපව චලනය වීම අහම්බයක් නොවන්නේ ය. ධනවාදයේ තුන්වැනි කාර්තුව ලෙස හෝ එහි උච්චතම මොහොත මෙය යැයි සැළකුවද මෙකී ප්‍රාග්ධන උවමනාව මේ මොහොතේ හැසිරෙන්නේ අර්බුද නිර්මාණය කිරීමට පමණි. ඉදින් ඉන් ප්‍රේමයට ගැලවීමක් නැත. ආදරයට ගැලවීමක් නැත. ප්‍රේමයේ සහ ආදරයේම දිගුවක් ලෙස සමාජය වැරදියට අර්ථකතනය කරගෙන සිටින කුටුම්භයට නම් කිසිසේත්ම ගැලවීමක් නැත.

ශ්‍රී ලාකීය සමාජය තමන් සතු විපරිත සමාජාර්ථක දේශපාලනික ක්‍රමවේදයන්ටත් අමතරව තවමත් කර ගසාගෙන යන ඊනියා වික්ටෝරියානු මතය දැඩිව ප්‍රශ්න කළ බරපතලම ලියන්නකු වන ඔස්කා වයිල්ඩ් ඔහුගේ The Importance Of Being Earnest වේදිකා නාට්‍ය 1895 තරම් ඈතකදී ගොඩනැඟුවේ විවාහයේ ව්‍යාජය හා සදාචාරමය මිත්‍යාව ගවේශනය කිරීමටත් ඊට විවාහයට එරෙහිවත් ය. ඔහු එහි නාමකරණය තේමාත්මකව සංයුක්තව දැක්වූයේ ‘‘සීරියස් මිනිසුන්ට නොවැදගත් ප්‍රහසනයක්‘ ලෙසිනි. ඔහු එහිදී ඇල්ජනොන් නම් වන පාත්‍රයා හරහා ස්වකීය සමාජ විවේචනය සමාජගත කරයි. වයිල්ඩ් මේ සඳහා Bunbury නම් වන මනංකල්පිත චරිතය සංවාදය අතරට කැඳවයි. ඔහු විසින් නිර්මිත Bunbury චරිතයට පදනම් වන්නේ ඉංග්‍රිසියේ එන bunburying නම් වන අදහසයි. එහි ධ්වනිය වන්නේ, කිසියම් නීරස සහ ඕලාරික දෙයක් මඟහරිනු පිණිස හේතුවක් හදා ගැනීමයි. වයිල්ඩ් විවාහයට එරෙහිව අබිමුඛ කරන්නේ මෙකී අදහසයි. ඇල්ජනොන් හා ජැක් අතර විවාහය අරභයා ඇතිවන උත්ප්‍රාසකර සංවාදයේ එක් උද්වේගකර මොහොතක මෙසේ කියැවෙයි.

ඇල්ජනොන් : ‘බන්බරි’ ගෙන් මාව වෙන්කරල දාන එකට මාව පොළඹවන්න පුළුවන් කිසිම දෙයක් නෑ. තමුන් කවදහරි කසාද බඳින එක, මට පේන විදිහට නම් විශාල ගැටළුකාරී එකක් වෙන්න පුළුවන් හින්දා බන්බරිව අඳුනගෙන තියෙන එක ලොකු සහනයක් වෙයි. එහෙම නැතුව කසාද බැන්දොත් ඒක ලොකු වෙහෙසකර කාලයක් වෙයි.

ජැක්: මනස්ගාත. කවදහරි මං කසාද බඳින කෙල්ල කියලා හිතාගන්න පුළුවන් කෙනෙක් මට හම්බවුණොත්, කොටින්ම ග්වෙන්ඩොලන් වගේ සියුමැලි කෙල්ලෙක් බඳින්න හම්බවුණොත්, බන්බරි අඳුනගන්න කිසිම උවමනාවක් එන්න විදිහක් නෑ.

ඇල්ජනොන්: හරි, එහෙමනම් එයාට පුළුවන් වෙයි ඒක කරන්න. කසාද ජීවිතේදී තුන්දෙනෙක් කියන්නේ සමාගමක්, ඒත් දෙන්නෙක් කියන්නෙ පුස්සක්, මිත්‍රයා! තමුන් තාම ඒක තේරුම් අරගෙන නෑ වගේ..

ඉදින් කෘතිය මෙසේ සංයුක්තකර ලෙස බාරගත්ත ද, ඉන් එහා මේ රහස් කවුළුව ගැන කතා කරන්නේ කුමක්ද?

මම මෙසේ කෞශල්‍ය කුමාරසිංහ නම් වන හිතුවක්කාර ලියන්නා සමඟ වන මගේ අතීත කෝන්තරය පිටාර ගලන්නට ඉඩ දුන්නෙමි. රවුම් ගල් ගසා වීදුරු කවුළුව බිඳ දැමීමි. නැරඹුම්කාමය නම් වන අවරසිකත්වය තුළ අතරමංවී යාමට ඉඩ තිබූ පුළුල් නිදහස්කාමයක් වෙත සමාජය කැඳවාලනු පිණිස සවිඥානිකවම න්‍යායික කැරැල්ලක් ගසනා සාහිත්‍යයික ශ්‍රමයක් නිවැරදිව ස්ථාන ගත කරලීමේ මගේ පාපිෂ්ඨ චේතනාව සාක්ෂාත් කරගනීම වෙනුවෙනි.

පසු සටහනක්:

රහස් කවුළුව ඇරලා බලපු නැරඹුම්කාමී අවරසිකයෙක් අහල එවල තිබ්බා ඇයි තිවංකගෙ කතාවම විතරක් ගියානම් හොඳයි. තවත් විස්තර ඇතුව. ඇයි දන්නෑ වෙන වෙන දේවල් මේකට කවලම් කළේ කියලා. මේක තනිකරම කතාවක් විදිහට ගත්තත් සරසවි ශිෂ්‍යාව කේන්ද්‍ර කරගත් කතාව, මුඛ්‍ය කතාවත් එක්ක ඡේදනය වන්නට ඉඩ හරින්නේ ඇයි කියන එකට හේතුව හොයා ගන්න කෙනාට විතරයි කතාවෙ සමස්ථය තේරෙන්න ගන්නෙ කියලා මං එයාට ලියලා යැව්වා.

මංජුල වෙඩිවර්ධන  | Courtesy © JDS 

 

නීතිය උන්ගේ ය - වීදිය අපගේ ය

 

RC Phtoto Student Attacked

​යුගය වනාහී යහපාලනය යැයි "උන්" කියති. ඒ උන්ගේ "නීතිය"ට අනුවය. මහ බැංකුවේ අධිපතිට මුල්‍ය වංචා චෝදනාවක් පැමිණිනු විට පඩි (සහිත) නිවාඩු යවන සිරිසේන - වික්‍රමසිංහ යහපාලන උන්නැහේලා අධ්‍යාපනයේ අයිතීන් ඉල්ලා වීදියට පැමිණිනු සිසුන්ට සළකන්නේ යහපාලන ආණ්ඩුවට එරෙහිව සිටින බැරෑරැම්ම ද්‍රෝහීන් ලෙසය. මිනිමරැ රාජපක්ෂලා නැවත වේදිකාගත කරන්නට රට වටේට තොරොම්බල් ජාතිවාදී රැස්වීම තැබීමට ඉඩදෙන සිරිසේන-වික්‍රමසිංහ උන්නැහෙලා අධ්‍යාපන අයිතීන් ඉල්ලන සිසුන්ට ඉලක්ක කරන්නේ ජල ප්‍රහාර සහ කදුලු ගෑස් උණ්ඩය.

එලෙස අප සහෝදරයන්ට "උණ්ඩ" ඉලක්ක කරන සිරිසේන-වික්‍රමසිංහලාගෙන් අප අසන්නේ "අණ්ඩයක්" දමාගෙනද ඉන්නේ යන්නයි.

උන් ගිණි ගහන වීදියට පැමිණ පැමිණ ඉල්ලුවේ ලැම්බෝගිනි ​ෙහා් යහපාලන ඇමතිකමක් නොවේ. උන් ඉල්ලුවේ අනාගත පරපුර වෙනුවෙන් අධ්‍යාපනයේ නිදහසයි.

උන් ඉල්ලුයේ -

1)පාසල් තුළ මුදල් අය කිරිම නීතිගත කරන නව චක‍්‍රලේඛය අහෝසි කරනු!

2)මාලඹේ, කොතලාවල ඇතුළු සියලූ උපාධි කඩ අහෝසි කරනු!

3)අඛණ්ඩ සත්‍යග‍්‍රහය දින 100 ඉක්මවයි. විවෘත විශ්වවිද්‍යාලයේ සියලූ සිසු ගැටළු විසදනු!

4)මෛත‍්‍රී-රනිල් ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුලන, මර්දන නීති දීර්ඝ කරන වැඩපිළිවෙලට එරෙහිවෙමු!

5)අධ්‍යාපනය විකිණීමේ නව සැලසුම යෝජිත ශිෂ්‍ය ණය ක‍්‍රමය හකුලා ගනු!

6)බිබිලේ නම විකුණමින්, රෝගීන් සූරාකන, සමාගම් තරකරණ ඖෂධ පනත හකුලා ගනු!

7)සිසුන් බලහත්කාරයෙන් දේශන ශාලාවලට ගාල් කිරීම නවතනු! අධ්‍යාපනයේ නිදහස ලබාදෙනු!

8)දෙනවා කිව්ව 6%ත් නෑ. අයවැයෙන් අධ්‍යාපනයට සත පහක්වත් වැඩි කරලත් නෑ. අධ්‍යාපනයට ප‍්‍රතිපාදන ඉහල දමනු!

9)ශිෂ්‍ය කප්පාදුව වහා නවතනු! භික්ෂු බඳවාගැනීම් ඉහල දමනු!

10)ජානක - සිසිත ඝාතනය හෙළිදරව් කරනු!

11)ත‍්‍රස්ථ විමර්ශන අංශය මඟින් පැහැරගෙන ගොස් දින 200ක් තිස්සේ රදවාගෙන සිටින සෙන්දිල් කුමාර් සුදර්ශන් සහෝදරයා නිදහස් කරනු!

12)යාපනය, නැගෙනහිර සරසවි තුළ සිදුකරන මිලිටරි මැදිහත්වීම් නවතනු!

13)උසස් තාක්ෂණ ආයතන තුළ පාඨමාලා මුදලට විකිණීම නවතනු! HNDA පාඨමාලාවට හිමිව තිබු උපාධි සමානතාවය නැවත බලාත්මක කරනු!

14)දිනාගත් මහපොළ වැඩිකිරීම මෛත‍්‍රි-රනිල් ආණ්ඩුව කොල්ලකයි. මහපොළ හා ශිෂ්‍යාධාර වාරික වහා ඉහල දමනු!

11014680 687892528005911 3143686235586945189 n


අනාගතය වෙනුවෙන් අයිතිය ඉල්ලු උන්ට රාජපක්ෂලාගෙන් පසු ජෝන්ගේ පොලීසිය පිළිතුරැ දුන්නේ ජල ප්‍රහාරක රථවලිනි. අප ඒ සම්බන්ධයෙන් පුදුම නොවන්නෙමු. මන්ද මේ ර​ට මෙතෙක් පාලනය කළ, කරන සහ කිරීමට නියමිත පාලකයන්ට උවමනා ප්‍රශ්ණ කරන පුරවැසියන් නොව කොන්දේසී විරහිතව යටත්වන යටත් වැසියන් හෙයිනි. ආණ්ඩු මාරැ වූවාට පාලක පන්තියේ අභ්‍යයන්තරික උවමනාවන් වෙනස් වන්නේ නැත.

උන්ට අනුව අධ්‍යාපනය යනු හොදට විකිණිය හැකි බඩුවකි. අපට අනුව අධ්‍යාපනය සහ අධ්‍යාපන විකිණීම අනාගත පරපුර සම්බන්ධ ගැටලුවකි. රාජපක්ෂලාට උවමනා වූයේද යහපාලන ඇත්තන්ට උවමනා වන්නේද අධ්‍යාපන අවස්ථා සීමාකර පාලනය ප්‍රශ්ණ නොකර ඉදිරි පරම්පාරවක් බිහිකිරීමය. අධ්‍යාපනයට 6%ක් ඉල්ලූවිට පාලකයන් බියෙන් වේව්ලා ගියේ එහෙයිනි. සියලු ශිෂ්‍ය විරෝධතාවයන්ට මිලේච්ඡලෙස පහර දුන්නේ එහෙයිනි. එම නිසා ජෝන්ලාගේ යහපාලන ආණ්ඩුව ගැන අප පුදුම නොවෙමු.

අධ්‍යාපනයේ අයිතිය ඉල්ලා සිටි සිසුන්ට එල්ලකල මිලේච්ඡ ප්‍රහාරය දැඩි පිළිකුගෙන් හෙලා දකින අප සිරි​ෙස්න - වික්‍රමසිංහ යහපාලන ඇත්තන්ට එකක් මතක්කර සිටිමු.


ජොන්ගේ නීතීය සහ සිරිසේන-වික්‍රමසිංහ යහපාලනය සම්බන්ධ ප්‍රශ්ණය අවශ්‍යනම් වීදියේදී විසදාගැනීමට පුරවැසියන් ලෙස අප සූදානම් බවයි. මිනීමරැ ආඥාදායකයන් මැදමුලදන ජනෙල්වල එල්ලී කථාකරන තැනට තල්ලු කල පුරවැසියන්ට ජොන්ගේ නීතීය සහ සිරිසේන-වික්‍රමසිංහ යහපාලනය සම්බන්ධයෙන් ප්‍රශ්ණය වීදියේ විසදීමට කිසිදු අභියෝගයක් නොවන බව අප අවධාරණය කර සිටිමු.

"නීතිය උන්ගේය වීදිය අපගේ ය" එම නිසා අප පළමු අනතුරැ ඈගවීම අවධාරණය කර සිටිමු.

 

පසන් ජයතිලක | ඡායාරෑපය - රොෂාන් චතුරංග | ©LNW_සිව්මංසල

 

 

ඉරක් උදාවන්නේ කුමටා - අඳුර තමා මට පරම සැපා

artistsනළුවන් නිළියන් තම රංගන ජිවිතයේ දී රඟ දක්වන ඇතැම් ජවනිකා කෙදිනක හෝ සිය ජීවිතයේ දී සැබැවින් ම අත්දකින්නට ලැබූ අවස්ථා දක්නට ඇත. ඒ අතුරින් මා මතකයේ රැඳී ඇති එක් දෙබස් ඛණ්ඩයක් ඇතුළත් වූයේ විජයකුමාරතුංග රඟපැ ‘‘මමයි රජා’’ සිනමා නිර්මාණයේ ය. මගේ මතකයට අනුව එහි එක් අවස්ථාවක විජය මෙබඳු දෙබසක් පවසයි. Read more...

දයාබර නාදන්

nathanසුදු පැහැයට හිම පියලි වැටෙන අයුරු මා ජනේලයට මුහුණ තබා නැරඹුවෙමි. මාගේ ජීවිතය අඩකින් ගරා වැටී තිබේ. ඒ මන්ද කියා එක එල්ලයේ කිව නොහැකි නමුත් වස්තු භංගත්වයකට ,වියෝග කාංසාවකට මුහුණ දුන් කෙනෙකු මෙන් මගේ සිත නලංගුවකින් පිරී තිබේ. මා සතුටින් සිටි කාලයක්වත් මට මතක් නොවේ. Read more...

දෙවරක් අතුරුදහන් වූ " රෝස්මලර් අම්මාගේ පණ "

Untitled-2

" රවීන්ද්‍රන් මයුරන් " කියන්නෙ රෝස්මලර් අම්මගෙ හුස්ම. ඒ කියන්නෙ දරුවො පහක් උන්නු පවුලෙ 'ලොක්කා'. අම්මගෙ අතේ ඇඟිලි පහ නැතිවුණේ මේ ලොකු පුතා කඳවුරු ගෙදරට නාව දවසෙ...එදා ඉඳන් අම්මට තිබුණෙ අසම්පූර්ණ වුණත් එකම එක හීනයයි! මයුරන් පුතාව හැබැහින් දකින හීනෙ. මේ ලියවිල්ල ලියන මොහොතෙත් - ඔබ කියවන මොහොතෙත් අම්මා ඒ හීනෙ එහෙමම දකිනවා. මං රෝස්මලර් අම්මගෙ ඇස් දෙකට එබෙනවා....

ළඟ ම අන්තිම මතකෙදි අම්මා, 'මයුරන්' පුතාව දකින්නෙ 2011 පෙබරවාරි 28 උදේ. ආයෙත් ඒ හදවත අම්මට මුණගැහෙන් නැහැ. ඒත් එක මොහොතකදි මේ මෑතක 2015 පෙබරවාරි 27 වන දා මයුරන් ජීවමාන වෙනවා. හැබැයි අම්මගෙ උත්ථාන සෙනෙහස ඉස්සරහ නෙමෙයි...නොහිතපු නෑදෑයො පිරිසක් ඉදිරියෙ. මේක පුදුමයක් නැති සහතික ඇත්ත කතාවක්. එතැන දැනට කොමාවක් තියමු. 2011දි අතුරුදහන් කරන්න කලින් 2009 මැයි මාසෙ 05 වන දා මයුරන්ගෙ තටු මුල් වරට සිඳෙනවා. හරියටම කිව්වොත් සිඳෙනවා නෙමෙයි, සිඳිනවා. මුලින්ම අතීත කතාව ලිහාගෙන ඉමු.

මයුරන් උතුරු අහස යට මුලින්ම ඇස් අරින්නෙ 1985 ජුනි 21වනදා. බාධක - ගැටුම් - වැටුම් - රිදුම් මැද්දෙ වුණත් ජීවිතේ විඳින - ආදරේ හොයන මයුරන් 2006 නොවැම්බර් 03වනදා විවාහප්‍රාප්ත වෙනවා. යුධ සමයේ අවසන් අදියරේදි, ඒ කියන්නෙ 2009 මැයි 05 වනදා මයුරන්ව පළමු වරට බලෙන් රැගෙන යනවා. ඒකත් එක්තරා විදිහක රාජ්‍ය පැහැරගැනීමක් ; රාජ්‍යය විසින් සමීපතයන්ගෙන් දරුවා අතුරුදහන් කිරීමක්. 'නෙලුක්කුලම් රජයේ පුනරුත්ථාපන කඳවුරට' තමයි මයුරන්ව රැගෙන යන්නෙ. ඒ ගැන අම්මා දැනගන්නෙ පස්සෙ. හේතුව හැටියට පාලකයො දක්වන්නෙ 'LTTEයට එක් දිනක් සම්බන්ධ වෙච්ච අය පවා පුනරුත්ථාපනයට ලක් කරනවා' කියලයි. රාජ්‍ය මර්දනය පීඩිතයා මත්තෙ ඉතිහාසෙ ඉඳන් ම ක්‍රියාත්මක වුණේ එහෙමයි. අදාළ පුනරුත්ථාපන කාලෙන් පස්සෙ ගම් බිම් බලා එන්න මයුරන්ට හැකිවෙනවා. ඒ වගේම පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයගෙ අත්සන, අනුමැතිය එක්ක 'සමාජගත කිරීමෙ සහතික පත්‍රෙකුත්' මයුරන්ට ලැබෙනවා. පිට ප්‍රදේශ වලට පවා ගිහින් රැකියාව කරන්න පුළුවන් කියලත් දැනුම් දෙනවා. ඒත් ප්‍රායෝගිකව 'නිදහස් ජීවිතයක්' මේ පුත්‍රයට ලැබෙන් නැහැ.

2011 පෙබරවාරි 28 වැනිදා රජයේ ආරක්ෂක අංශ මයුරන්ව නැවත අතුරුදහන් කරනවා. ඒ කාලෙ වෙනකොට තමන්ගෙ පවුලත්තෙක්ක මයුරන් ජීවත් වුණේ, 'සෙට්ටිකුලම් අරුණාචලම්' කඳවුරේ. ඊට පස්සෙ අම්මා, ලොක්කා ගෙදර නාව ප්‍රශ්නෙට උත්තර හොයන් යන්න පුළුවන් හැම තැනටම යනවා. මුලින්ම කඳවුරු පොලීසියට - එතැනින් කිලිනොච්චි පොලීසියට...ඒත් මේ හැම තැනෙකින්ම අම්මගෙ ප්‍රශ්නෙ - දරු දුක තේරුම් ගන් නැහැ. 'පණිවිඩයක් තිබ්බොත් කියන්නං' වගේ සුරංගනා කතා විතරයි අම්මට උත්තර හැටියට ලැබෙන්නෙ. එහෙම වුණත් නොසැලෙන රෝස්මලර් අම්මා, වැලිකන්ද ප්‍රධාන කමාන්ඩර්ට පවා මේ ගැන දන්වලා පුතා ගැන නිශ්චිත තොරතුරු අහනවා....පමා නොවී වවුනියාවෙ ICRC කරා ගිහින් යුක්තිය ඉල්ලනවා. 2014 නොවැම්බර් මාසෙ ජනාධිපති කාර්යාංශෙට මේ ගැන දැනුම් දෙනවා. නමුත් පුතාගෙ එකමෙක හිනාවක්වත් - එකමෙක කඳුලක්වත් අම්මට දකින්න ලැබෙන් නැහැ. කාලෙට සමපාතව 'කඳවුරු ජීවිතයක් ගත කිරීම නිසා' එළියෙ ක්‍රියාකාරී දෙමළ දේශපාලකයො මුණ ගැහෙන්න අවම ඉඩක්වත් ලැබෙන් නැහැ..... හරි, හිතේ දුකයි - ඇහේ තෙතයි එක්ක කාලෙ පියාඹනවා. මේ වගේ අඳුරු කාල පරිච්ඡේදෙකින් පස්සෙ ජීවන පිටුව වෙනත් පැත්තකට පෙරලෙන්න පටන් ගන්නෙ ගිය පෙබරවාරි 27වනදා. ඔන්න දැන් ලියැවිල්ල මුලට අපි ආපස්සට යනවා....

2015 පෙබරවාරි 27 වන දා මයුරන් ජීවමාන වෙනවා. ඒ 'මුලතිව්' වල 'මාන්ජෝලෙයි' රෝහලේදි. එදා මයුරන්ගෙ නෑයො පිරිසක් රෝහලට ගිහින් ඉන්න මොහොතක ඔවුන් මයුරන්ව හැබැහින් දකිනවා. කතා කරනවා. එතකොට මයුරන් ඉඳලා තියෙන්නෙ සිවිල් පිට හිටපු ආරක්ෂක නිලධාරීන් දෙන්නෙක් එක්ක. මයුරන් ඇවිත් තියෙන්නෙ 'මුත්‍රා පරීක්ෂණේකට'. එතැනදි ඔවුන්ට මයුරන් මොනවද කිව්වෙ ? මෙන්න මයුරන්ගෙ හෘද සාක්ෂිය!

" මාව ඔවුන් රැගෙන ගියා. අරන් ගිහින් හොඳටම පහර දුන්නා. 'පුරුෂ ලිංගයට' දැඩි තුවාල සිදු කිරීම් වගේම පහර දීම් සිදු කළා. අද මේ ආවෙ මුත්‍රා පරීක්ෂණේකට...."

ඊළඟ නිමේෂෙදි මයුරන් පුත්‍රයා, ඔවුන්ගේ සමාගමෙන් මිදිලා රාජ්‍ය ආරක්ෂක නිලධාරීන් යටතට පත්වෙනවා. ඒත් නෑදෑ හිතවතුන්ට 'අලුත් බලාපොරොත්තුවක්' දැනෙනවා. එතැන හිටපු අය, " මයුරන් ජීවතුන් අතර ඉන්නවා කියලා " හොඳටම දන්න - සාක්ෂි ලබා දෙන්න ඔවුන් කැමතියි. වේදනා කොච්චර අසුබ වුණත් මේ සුබ පණිවිඩේ ලැබුණට පස්සෙ 'රෝස්මලර් අම්මගෙ' ජීවිතාශාව තව තවත් පිබිදෙනවා. අම්මා වහාම 'මානව හිමිකම් කොමිසම'ට මේ ගැන දැනුම් දෙනවා. ඒත් එතැනදිත් ලියාපදිංචි කර ගැනීම විතරයි වෙන්නෙ. නිශ්චිත තොරතුරු වලට බාලගිරි දෝසෙ....

ඉතින්, විවාහක - පුංචි කොල්ලෙක්ගෙ තාත්තා කෙනෙක් වෙන - රෝස්මලර් අම්මගෙ පණ - "රවීන්ද්‍රන් මයුරන්" අතුරුදහන් කෙරුවත් "සාක්ෂි සහිතව" දැනුත් ජීවතුන් අතර සිටිනවා. ඒ ගැන හොඳාකාරවම පැහැදිලියි. 'රාජපක්ෂ ආණ්ඩුව' පැවති අවධියෙ 'අතුරුදන් දරුවො' ගැන ඇහුවම මහින්දයි,වාසුයි කිව්වෙ 'කොල්ලො කෙල්ලො පැනලා ගියා කියලයි, අනෙක් අය රට යන්නැති කියලයි'. එතකොට අපි හිටියෙ අඬලා හිනාවෙනවද ? හිනාවෙලා අඬනවද ? මනසිකාරෙනුත් එහා කලකිරීමෙන්...එතකොට තමන්ගෙ උප්පත්ති නිජ-භූමිය පවා අහිමි වෙච්ච මේ දරුවො කොහේ හරි ඉඳන් 'ආදරේ කියන්නේ කඳුලයි ' කියන කාරණේ මුමුණන්නැති....

දැන්, වෙනත් පාලක පත්වීමක් ඇතුළෙ ජනාධිපති,අගමැති ඇතුළු සියලුම පාලක බලධාරීන්ගෙන් වගේම මානව හිමිකම් ආශ්‍රිත ආයතනයන්ගෙන් අපි ඉල්ලන්නෙ 'යුක්තිය වගේම සාධාරණත්වය' ඉෂ්ට කරන්න කියලයි. ඒ වගේම රෝස්මලර් අම්මගෙන් උදුරාගත්ත "හුස්ම" ආයෙමත් ඒ ළයාදර පෙනහලු වලට මුදාහරින්න කියලයි. මොකද, ජීවිතේට කොච්චර හිනා එකතු වුණත් මෙහෙව් බිමක " ආදරේ කියන්නේ, කඳුලයි! "

- කසුන් මහේන්ද්‍ර හීනටිගල 

" අපේ සමාජය හරි භාවාත්මකයි. ප්‍රඥාවන්ත නැහැ " - කපිල එම්. ගමගේ

 

Kapila

පාලකයන් කදවුරැ දෙකක් සිට අපේ නිදහස ගැන ඔවුන්ගේ පිළ වෙනුවෙන් අර්ථකත ඉදිරිපත් කරන විලම්භීත යුගයක අප පුරවැසියන්ගෙන් "  නිදිහස" සහ මේ නිශ්චිත්‍ර මොහොත සම්බන්ධයෙන් අදහස් විමසීමු. මේ මොහොත සමාජයක් ලෙස බලකර සිටින්නේ පුරවැසි කදවුර ශක්තිමක් කිරීම බව අප විශ්වාස කරන්නෙමු. මේ සාහිත්‍යවේදියෙක්,ජනමාධ්‍යවේදියෙක් මේ ඔක්කොටම වඩා සමාජ-සංවේදී පුරවරැසියෙක් කිවිවර කපිල එම්. ගමගේ වර්ථමාන සමාජ තත්ත්වය පිළිබද ලංකානිවුස්වෙබ් << සිව්මංසල>> සමග දැක්වූ සංශිප්ත අදහසයි.


පළවෙනි ප්‍රශ්ණය ආණ්ඩු වෙනස් වෙනවා, ආණ්ඩුවලට තිබුණු අර්ථකථන වෙනස් වෙනවා. එ්ත් සමාජයක් විදිහට අපි ඇත්තට වෙනස් වුනාද? නැතිනම් අපි අපවම රවටා ගනිමින් ඉන්නවාද? කොහොමද මේ මොහොතෙ සමාජය දැන්නේ කවියෙක් විදිහට සහ සවිඥානික පුවැසියෙක් විදිහට?

ලංකාවේ දේශපාලන ඉතිහාසය තුලම අපි මුහුණ දුන්න ඛේදවාචක මේක තමයි. නිදහස ලබා ගැනීමේ අරගලයේ සිට (මා මෙයට අරගලයක් කියන්න එතරම් කැමති නෑ.) පුරවැසියන් හැටියට අපි අපි විසින්ම රවටා ගනු ලැබුවා. නිදහස් අරගලයේ නියමුවන්යැයි කියාගත් අය කිව්වේ " අපි නිදහස ඉල්ලා සිටීමට පෙර සිතින් හා ගතින් ඉංග්‍රීසීන් මෙන් විය යුතුයි" කියලා. මේ ප්‍රකාශයේ ඇති බරපතල දේශපාලන, ආර්ථික හා සමාජ අර්ථය අපිට තේරුණේ නැහැ. අපි රැවටුණා. එදා සිට මේ දක්වාම අපි අපි විසින්ම රවටා ගනු ලබනවා. නිදහසින් පසු යුගය ලෙස මෙය මා වෙන්කර කතා කලත් ඉන් ඔබිබෙහි ඉතිහාස තුල පවා පොදු මහජනයා රැවටීම කියන එක සුලබ ලක්ෂණයක්.


ඕනෑම සමාජ පරිසරයක් ඇතුලේ කලාවට සම්බන්ධ කෙනෙක් කියන්නේ අන් අයට වඩා සංවේදී පුද්ගලයෙක්. කවියෙක් කියන්නේ වඩාත් සංවේදී කෙනෙක්. කවියෙකුට හෝ වෙනත් භාවිත කලාවක නියැලි කෙනෙකුට හෝ සමාජ සංසිද්ධීන්ගෙන් මිදී ඔහුගේ හෝ ඇයගේ කලා භාවිතාව පවත්වාගෙන යන්න බැහැ. එහෙම වුනොත් ඒ කලාවට හෝ කලාකරුවාට පැවැත්මක් නැහැ. අනෙක් අතට කලාවෙන් කරන්නේ සමාජය සවිඥානික කිරීම. කලාකරුවා පොදු ජනයාගේ ඉදිරියට ආලෝකයක් එල්ල කරන්නෙක්. පාලකයින්ගේ පැවැත්ම වෙනුවෙන් තමන්ගේ කලාව භාවිතා කරනවා නම් හෝ භාවිතා කරන්න ඉඩදෙනවා නම් ඒ අය කලාකරුවන් නෙමේ.

අපේ රට ලෙසින් ගත්තොත් මේ මොහොත තීරණාත්මක මොහොතක්. අපි නිදහස සොයනවා. නිදහස නව අර්ථකතනයකට බඳුන් කරණවා. ඒක නව දේශපාලන ආකෘතියක්, නව සමාජ හැඩයක්, නව ආර්ථික ආකෘතියක් පිළිබඳ නිදහසක්. විශේෂයෙන් සමාජය පීඩනය මුදාහරින්න දරන උත්සාහයක්. හැබැයි මෙතන ආයෙත් එන්නේ රැවටීමක්. සමාජ උවමනාවට නිසි නායකත්වයක් නැහැ. ඒ නිසා වංචාකාරයින් නායකයින් වෙසින් පෙනී සිටිනවා. සමාජයට තම විරෝධය ගැඹුරින් ආයෝජනය කරන්න වැටහිමක් නැහැ. අපේ සමාජය දේශපාලනිකව සවිඥානික නැහැ. තමන්ගේ ප්‍රජාතන්ත්රීය අයිතිය භාවිතයේදී ඔවුන් හරි භාවාත්මකයි. ප්‍රඥාවන්ත නැහැ. අනෙක් අතට සමාජය ප්‍රඥාවන්ත කරන දේශපාලන ව්යාපාරයක් මේ මොහොතේ අපේ රට තුල නැහැ. ඒකම හරිම ඛේදවාචකයක්.

අපි දන්නවා කලා කේෂත්‍රයේ පිරිස් පසුගිය කාලේ බල-පෙරළි ගැන කථාකරන්න එළියට ආවා. නමුත් කලාව පැත්තෙන් සමාජය වේවලවන්න තරම් තියුණු කලා-නිර්මාණ බිහි නොවනු තරම්. තමන්ගේ සහෝදර ජනයා මරා දමා ජය පැන් බිව් රටකට තවත් කලානිර්මාණ කරන්නට තරම් අවකාශයත් තියෙනවාද? ඒකද අපි මේ අත්විදිමින් ඉන්නේ ?

ලංකාවේ කලාකරුවන් දේශපාලන අන්තේවාසිකයින් මෑත භාගයේ සුලබව දකින්න ලැබෙන කාරණයක්. එක් එක් දේශපාලන ව්‍යාපාරයන්ට ප්‍රසිද්ධියේ සහාය පළකිරීම සිදුවන්නේ 1994 දී පමණ. ඒ දීර්ඝකාලීනව අඛණ්ඩව මේ මොහොත දක්වාත් පවතිනවා. මේ සහාය පළකිරීම ගනුදෙනුවක්. ජයග්රාහී දේශපාලන කඳවුරට සහාය පළකළ උදවිය විවිධ තනතුරු ලබනවා. වරදාන ලබනවා. ඔවුන් තමන්ගේ කලා නිර්මාණ හරහා දේශපාලකයන්ගේ පෞරුෂයක් නිර්මාණය කරණවා. මේක සමාජය තේරැම් ගන්නේ නැහැ. සමාජය ඇතුලේ කලාකරුවන්ට හිමි සිවිල් බලය තමයි මේ ආකාරයට ඔවුන් අලෙවි කරන්නේ. මේක එක අතකින් "දේශපාලන අලෙවිකරණයක්". ඉතින් කොහොමද ජනතාවට අදාල කලා නිර්මාණ බිහිවෙන්නේ.

ඔබ කීවා වගේ රටේ සහෝදර ජනතාවක් වෙත එල්ල වුණු අමානුෂික පීඩනය වෙනුවෙන් මොන කලාකාරයද ඉටිපන්දම් දැල්වූවේ. ඔවුන් ඉටිපන්දම් දල්වා සත්‍යක්‍රියා කලේ පීඩකයා වෙනුවෙන්. පීඩිතයා වෙනුවෙන් කතා කලේ අතලොස්සක් විතරයි. මේක අද දවසේත් වෙනස් වෙලා නැහැ. යුද ජයග්‍රහණය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව ජයපැන් බීම තේරුම් ගන්න පුලුවන් වුනාට කලාකරුවන්ට පුලුවන්ද එහෙම කරන්න. මනුෂ්‍ය ඝාතනයක් වෙනුවෙන් ජය ගීත ගයන්න, චිත්‍රපට නිර්මාණය කරන්න, වාර්ෂිකව යුද ජයග්‍රහන සමරන්න කලාකරුවෙකුට පුලුවන් ද? ඔබට තියෙන ප්‍රශ්නයමයි මටත් තියෙන්නේ. කලාකරුවෙක් කියන්නේ මානව හිතවාදියෙක් නේ. ඔහු හෝ ඇය මානවයා බෙදන ජාතිය, කුලය, ප්‍රදේශය වැනි ගෝත්‍රක සීමාවන් ඉක්මවා යන්නෙක් විය යුතුයි. ඔහුට වැදගත් වෙන්නේ මානවයා. ඒ නිසා මානව වර්ගයා වෙනුවෙන් වු නිර්මාණ කරන්න ඔහුට පුලුවන් වෙන්න ඕනේ. ඒ නිර්මාණත් එක්ක මිනිස්සු කැටුව වීදියට බසින්න පුලුවන් වෙන්න ඕනේ. ඔහු කිසියම් මානව කොටසක් වෙනුවෙන් පෙනී සිටින පළමු අවස්ථාවේදීම ඔහුගේ කලා භාවිතාව අවලංගු වෙනවා. ඒකයි සමාජයක් හොල්ලන්න සමත් කලා නිර්මාණ බිහිනොවන්නේ. කලාකරුවෝ නැති රටක එහෙම නිර්මාණ ඇති වෙන්න පුලුවන් කමක් නැහැ.

මම විශ්වාස කරනවා කවියෙක්ට විශේෂයෙන්ම භූමියේ යථාර්තය අමතක කරලා සිය නිර්මාණ චාරිකාවේ යෙදෙන්න බෑ කියලා. ඒ හින්දම මේ ප්‍රශ්ණයට සෘජු පිළිතුරක් ඕනේ. අපි දැක්කා ​​යහපාලනය දෙමළ ජනයාට ජාතික ගීය සිංහලෙන් ගායනා කරන්න අවසර දෙනවා කියනවා. අවසර දෙනවා කියන එකෙම තියෙනවා අදාළ මහ ජාතියේ අවසරය නැතිව මොකුත් දෙමළ ජනයාට කරන්න බෑ කියලා. ඔබ මේ තත්ත්වය විග්රහ කරන්නේ කොහොමද? එහෙම අවසර මහ ජාතියෙන් ගන්න ඕනෙද?

භාෂාව කියන්නේ ජාතියක අනන්‍යතාව සටහන් කරන සංවේදී නිර්ණායකයක්. මගේ මූලික පිළිගැනීම තමයි ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ භාෂාවෙන් තොරතුරු සන්නිවේදනය කරන්නත්, තොරතුරු දැනගන්නත් අයිතිය තියෙන්න ඕනේ. ඒකට කාගෙන්වත් අවසරයක් අවශ්‍ය නැහැ. අනෙක ඒක මූලික අයිතිවාසිකමක්. ජාතික ගීය සම්බන්ධයෙන් මගේ පිළිගැනීමත් ඒකයි. ජාතික ගීයකින් සිදුකෙරෙන්නේ තමන්ගේ රට ගැන අභිමානයක් ඇති කිරීම නම් එය තමන්ගේ ඇතුලට දැනෙන්න ඕනේ. ඇතුලට දැනෙන්න නම් තමන්ට තේරෙන බසකින් එය තියෙන්න ඕනේ. නොතේරෙන බසකින් කියෙන ලියෙන දෙයකින් හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ආගන්තුක බවක් ඇරෙන්න. රටක ඉහළම නීතිය ව්‍යවස්ථාව නම් ව්‍යවස්ථාව ඇතුලේ සැමට සමාන කමක් තියෙන්න අවශ්‍යයයි. ව්‍යවස්ථාවෙන් කියනවා නම් ජාතික ගීතය ගායනා කළ හැක්කේ සිංහලෙන් පමණයි කියලා. එතනින්ම දෙමළ ජනතාව බෙදා වෙන් කෙරෙනවා. මොකද ව්‍යවස්ථාව ඇතුලේ තමන්ගේ භාෂාවට තැනක් නැහැ කියන හැඟීම ඔවුන්ට ඇති වෙනවා. ඔවුන්ට දැනෙන්න පුලුවන් තමන් මේ රටට අයිති ජන කොටසක් නොවේ කියලා.

තමන්ගේ දරුවෝ ඉල්ලා අඩන පාරවල් දිගේ අඩන අම්මලා ඉන්න රටක, කැරලි දෙකින් බිදුනු රටක, නිදහස ඉල්ලා සහෝදර ජනයා අමු අමුවේ සමූල ඝාතනය කල රටක , ඝාතන සමරා කිරිබත් කෑ රටක සිට කවි ලියන ඔබට මේ මොහොත දැනෙන්නේ කොහොමද?

අපි මං හිතන්නේ හරිම අවසනාවන්ත පරම්පරාවක්. උතුරේත් දකුනේත් අපේ පරම්පරාවේ උන් පාරවල් දිගේ ඝාතනය වෙනවා දකිමින්, අතුරුදන් වෙනවා දකිමින්, බෝම්බ පුපුරනවා දකිමින්, මරණය අතින්ගෙන වීදි සරමින් ජීවත් වූ පරම්පරාවක්. ඒත් ඒ අප්‍රමාණ දිවිදීම් වලට අද වටිනාකමක් තියෙනවද කියලා තමන්ගේම හෘද සාක්ෂියෙන් ප්‍රශ්ණ කරමින් ඉන්න මොහොතක් මේ. කැරලි දෙකක් හරහා මේ රටේ භූමියට පොහොර සැපයූ තරුණ ජීවිත ඉල්ලා සිටියේ මොකද්ද? තමන්ගේම ජීවිතයක්, තමන්ගේම අනන්යතාවක්, තමන්ට වටිනාකමක්. පොදුවේ ගත්තාම නිදහස් රටක්, අදටත් ඒ ඉල්ලීම් පැළවුණු පොළොව වෙනස් වෙලා නැහැ. ඒක එහෙමමයි. පුද්ගලයෝ විතරයි වෙනස්. පසුතැවීමක් දැනෙනවා. ඒ පසුතැවීම මගේ නිර්මාණ වල හෘද ස්පන්දනය ඇති කරන කම්පනයක් වෙනවා.

මගේ අවසාන ප්‍රශ්ණය. ඔබට ඔබේ කලා නිර්මාණ යනු කුමක්ද?

මගේ කලා නිර්මාණ කියන්නේ මගේ දේශපාලන හා සමාජ කියවීම්. ඉන් බැහැර දෙයක් මගේ කලා නිර්මාණ වෙන්නේ නැහැ. මගේ කවියක, කෙටිකතාවක හෝ වෙනයම් ලියවිල්ලක ගොනු වෙන්නේ මං විඳින, මට දැනෙන දේ. මම සමාජය කියවන්නේ මගේ දේශපාලනයක් ඇතුලේ. ඒ දේශපාලනය පක්ෂ දේශපාලනය නෙවෙයි. ඒක සමහර විට මටම ආවේනිකයි. හැබැයි ඒක සමාජයට සතුරු නැහැ. මගේ ඇතුලේ උපදින හැඟීම් පෙරලා මම ප්රකාශ කරන්නේ මගේ කලාව හරහා. මගේ කලා නිර්මාණ ඇතුලේ ආදරය, වේදනාව, සතුට, කෝපය වැනි සදාතනික මිනිස් සංවේදනයන් තිබෙනවා. හැබැයි ඒවා ඉබාගාතේ යන ඒවා නෙමෙයි. කිසියම් දේශපාලන අරමුණක්, සමාජ අරමුණක් හඹා යන දේවල්.


සංවාදය - ක්‍රිශාන්

 

අපේ සනුහරේ යන්න අරන්

 

10488122 10152779541288527 1422068705583414986 n

පසන් නික්ම ගොසිනි. හෙට මට ඔහුගේ නිසල දේහය බලන්නට යන්නට සිදුවී ඇත. දෛවය එතරම් කුරිරුය. ධම්ම ජාගොඩගෙන් පසු ආටෝනියානු කුරිරු රංගයේ ප්‍රාමාණික න්‍යායාචාර්යවරයා වූ ඒ සුපසන් මිතුරා නික්ම ගොසිනි.

මාස හයහතකට පෙර මත්තේගොඩ හර්ෂගේත් මගේත් නවාතැනේ මධුලෝලී රාත්‍රියකින් පසු පෙරඹර එළිය වැටෙද්දී ඔහු අපගේ ඒ අවසන් හමුවෙන් නික්ම ගියේය. පඩිපෙළ බැසයමින් ආපිට හැරුණු ඔහු මෙසේ කීවේය.

අපේ හමුවීම සුන්දරයි. ආර්ට් කොච්චර කැත වුණත් මේ හමුවීම සුන්දරයි. ආයිත් හම්බවෙමු.

එහෙත් අප ආයිත් මුණ ගැසුණේ නැත.
එහෙත් හෙට ඔහු මට මුණ ගැසෙයි.

ඔව්, පසන් උඹත් මාත් හෙට මුණ ගැසෙමු. නියෙට්ෂේගේ කෲරත්වයේ මානවීයත්වය ගැන උඹ කිවූ දැයින් සවිය ගෙන උඹ බලන්නට එන්නට මම උත්සාහ කරමි. එහෙත් මා නොදනිමි. එතරම් සවියක් එළඹ ගන්නට මට හැකි දැයි මම නොදනිමි.

වසර කිහිපයකට පෙර සෑම මසකම අවසානයේ, ඊළඟ මාසය එළඹෙන්නට පෙර අප වසර ගණනාවක්ම මුණ ගැසීමු. ඒ ගොඩගේ මහත්මාගේ පොත් සාප්පුවේදීය. සයිමනුත්, උඹත් මමත් සැමදා මාසයේ වියදම ගන්නට එසේ මුණ ගැසීමු. අප දෙදෙනා දුටු හැමවිටම ගොඩගේ මහතා සැමදාමත් කීවේ එකම එක වාක්‍යයකි.

'අයියයි මල්ලියි දෙන්නම ඇවිල්ලා. '

ඔව්, අයියයි මල්ලියි දෙන්නම හැමදාමත් එසේ සල්ලි ගන්නට ගියේය. ඒ අතරට එක්වූ තවෙකෙක් සිටියේය. ඒ සයිමන්ය.

මගේ දුව උපන් පසු මා රාවයට ලිවූ කවක මෙසේ සඳහන් විය.



ඉතින් චූටි දුවේ මං යනකොට කඩාගෙන
හම්බවුනා මාමා කෙනෙක්
‘මොකද පසන් මේ ටිකේ කරන්නෙ?’
මං ඇහුවා
‘ණය ගෙවනවා බං’
‘ඒ කිව්වෙ’
‘පොත් ලියනවා’(ප්‍රකාශකයන්ගෙ ණය ගෙවන්න)
පයදෝර් දොස්තයෙව්ස්කිගේ
වී. ඩී. ද. ලැනරෝල්ගේ පරපුර
පියවරක් ඉදිරියට
රස්කොල්නිකොව් ඉවසාපන් පොඞ්ඩක්

DEATH OF THE AUTHOR OR

DEATH OF THE PUBLISHER


මධුමත ඉහවහා ගිය පසු ඔහු ඇතැම් විට ඇතැමුන් හා වාත වුනද ඔහු කිසිවිටෙකවත් මා සමග අරෝවක් සදාගෙන නැත.
මගේ සර්පයකු හා සටන්වැද ගැන එය පළවී කිහිප දිනකින් ඇත්තට ලියන විට ඔහු පාසල් සිසුවෙක් විය. එහෙත් අප මුණ ගැසුනේ විභවියේ ඔහු ආටෝනියානු කුරිරු රංගයත් ග්‍රොටොව්ස්කිගේ දිළිඳු වේදිකාවත් ගැන කළ සාරගර්භ දේශනයේදීය. එහිදී මම ඔහුට එසඳ මම බලාසිටියෙමි පිටපතක් පිරිනැමුවෙමි.
පසුකලෙක මා සංහිඳ ප්‍රකාශන සාහිත්‍ය නියෝජිත හා සම්බන්ධීකාරක ලෙස කටයුතු කරද්දී ඔහුගේ අර්බාත් දරුවෝ උපුල්ට හඳුන්වා දුනිමි. අන්තිමේ අප, මා තවත් පරිවර්තන කාර්යයක් සඳහාත්, ඔහු අර්බාත් දරුවෝ නිම කිරීමටත් කොළඹින් නික්ම ගියෙමු. ඒ උපුල්ගේ ඥාතියකු වූ වතු අධිකාරීවරයකුගේ නිවසක නවාතැන් ගන්නටය.
ජීවිතයේ පළමු වරට වෙලාවට තේ එක, වෙලාවට කෑමවේල සහිතව මා ලිවූ එකම කාල පරිච්ඡේදය ඒ මාස එකහමාරය. උදේ හයට තේ එක බී අපි ලියන්නට ගතිමු. හතහමාර වන විට කෑම කෑවෙමු. නැවත ලියන්නට ගතිමු. දහයාමාරට තේ බීවෙමු. හවස ඇවිදින්නට ගියෙමු.
කොළඹදී මා දුටු විට පුංචි උන් හැංගෙති. එහෙත් දෙනියායේදී ඔහු දුටු විට පොඩි උන් අම්මලා පිටිපස්සේ හැංගුනෝය. ඒ පසු කර යන ගමන් ඔහු මෙසේ කීවේය.

මචං අපිව මෙහෙට පොඩ්ඩක් අවුට් වගේ නේද?

යළි මද විරාමයකින්



‘කොහොමත් අපිව එහෙටත් අවුට්නෙ’ කීවේය.

එහා වංගුවේ බල්ලන් තිදෙනෙක් එමින් සිටී. අප්පට හුඩු බල්ලො තුන්දෙනෙක් කියා ඔහු කන්දකට ගොඩ විය. එහෙත් ඒ වංගුව වූයේ කිලෝමීටර් ගණනකට ඈතිනි. බසයක් එන විටද ඒ එසේම විය.

නිවසේදී ඩොස්ටොව්ස්කි වූ ඔහු සැන්දෑ සක්මනේදී බල්සාක් විය. මා තෝරා ගත්තේ ලෝරන්ස්ගේ චරිතයයි. අපි එසේ අපට නම් දමා ගතිමු.

‘දැන් ප්ලෙඛානොව් මොනවා කරනවා ඇද්ද?’ ඔහු අසයි. ඒ සුනිල් විජේසිරිවර්ධන ගැනය.

කෙසේ හෝ නුඹ සොඳුරු මිතුරකු විය. අප ඒ මාස එකහමාරට හෝ කිසිදා එකිනෙකාගේ සිත් බිඳෙන වදනකුදු දොඩා නැත.
යළි ලියන්නට අරඹන අප රාත්‍රී කෑමට පෙර දියෝනිසස් මුණ ගැසුනෙමු. මගේ බීම කවදත් මූඩියෙන් එකකි. අප ෙකාළඹ එන්නට දින දෙකතුනකට පෙර සල්ලි ඉවරවූ විට යළි කොළඹ විත් ඔහු සල්ලි(මධු) හොයාගෙන ආවේය. රුසියාව ගැන මා බොහෝ ඉගෙන ගත්තේ ඔහුගෙනි.ගෝර්කිට වසදීම ගැන, සෙවලෝද් මේයර්හෝල්ඩ් මරාදැමීම ගැන, බුල්ගාකොවේ ගැන, සොල්සිනෙට්සින් හා පැස්ටර්නැක්ට ආ වාරණයන් , ෂොලහෝව්, තුර්ගනීප් වැන්නන් ඇතැම් ලේඛකයන්ගේ ප්‍රතිභාවෙන් සැලී ඔවුන්ව පරිවර්තකයන් ආදීන් බවට තල්ලු කළ ආකාරය, නිලධාරිවාදය විසින් රුසියාව තුළ කලාවට කළ අපරාධ ඔහු මුවින් ගලා අවේය.

රුසියාවේ ගෑනු දාර්ශනිකයන් ගැන මා ඇසූ විට වේදිකාවේ එහා කෙලවරට මට පිටුපා යමින් සිටි නුඹ මී විතත් සමග හැරී මෙසේ ඇසුවේය.

‘දාර්ශනිකයො ගෑනු? ..... ගෑනු? .....ඔය කවි ලියපු, චිත්‍ර ඇඳපු, එන්ජී ඕ ජාතියෙ ගෑනු නං ඉන්නවා. දාර්ශනිකයො?.... ගෑනු?’

එහෙත් නුඹ කිසිවිටෙකවත් ජීවිතයේදී ගැහැණුන් සම්බන්ධව එසේ සිතුවේ නැත. මා මෙන් ගැහැණුන්ව දාර්ශනිකාවියන් කළේ නැතත් අප දෙදෙනාගේම අස්වැන්න එක වාගේ විය.
දෙනියාය හේස් වත්තේදී නුඹ අර්බාත් දරුවෝ පරිවර්තනය කළද, මම ගිය වැඩය පසෙක දමා ජනේලයෙන් පෙනෙන රෝසමල් දෙස බලාගෙන ටෙලිපෝන් කම්බි උඩ ඉන්නා පොල්කිච්චන්, රෝසපඳුරු මත සිටින බට්ටිච්චන් දෙස බලාගෙන කවි ලීවෙමි. ඒ දිනවල මා ප්‍රේමාතුරව සිටි ගැහැණියට කවි දෙසිය ගණනක් ලීවෙමි. අවසන් වරට හමුවූ විටත් නුඹ ඒ ගැන කියා විහිලු කළේය.
නුඹේ සම්ප්‍රදානනයන් අතර වේදිකා සඟරාව අතිශය තීරණාත්මක මැදිහත්වීමක් විය. එහෙත් නුඹේ දැනුමේ හෝ ප්‍රතිභාවේ ඵල නෙලා ගන්නට මේ රට වාසනාවන්ත නොවීය. රස්සා කට්ටක් සොයා ගන්නට දුවද්දී වැරදී විශ්ව විද්‍යාලවලට ආ සිසුකැළතට නුඹේ දැනුම සැබැවින්ම අවැසි නොවිණි. ඔවුන් අතර ඉතිරි වූයේ නුඹ කෙරේ වන ගරුත්වය පමණි.

ඔව්, පසන් ගරුත්වය පමණක් කොට්ටෙට තියාගෙන නිදියෑම අපේ උරුමයයි. මා මෙන්ම නුඹත් ඒ ගරුත්වයන් බලුමැක්කෙක් තරමටවත් ගණන් ගත්තේ නැතත් ඒ හැටිය.

අප කොතරම් දේ කරන්නට සිහින මැව්වෙමුද? ඒ සිහිනත් සමග නුඹ නික්ම ගොස් ඇත.

මා ගැන මෙන්ම නුඹ ගැන මොන මොනවා කිව්වත් නුඹ එක්ස් කණ්ඩායම ගැන ලිවුවේ ‘ඒ මතවාදී බෝම්බයට මං ආසයි’ යනුවෙනි. ඔව් නුඹ අපේ සනුහරේ අපේම කෙනෙකු විය.

රුසියාවට නුඹ පා තබන විට ඒ වසර තිහකින් පසු දරුණුතම ශීත කාලයක් බැව් නුඹ කීයේය. සියල්ලන් නුඹට අනුකම්පා කළේ හෙට මැරෙයි හෙට මැරෙයි කියා බැව්ද ඒ සමගම නුඹ කීවේය. ආරෝහ පරිනාහ දේහසම්පන්නයන් මිය ගියත් නුඹ නිරුපද්‍රිතව හුන්නේය.
එහෙත් පාසලේ කොල්ලන් කොස් ඇට මීයා යැයි විහිලු කළ, මැණික් කටුවෙන් ඇල්ලූ විට පුංචි ළමයෙකුගේ මෙන් වූ සිහින් වූ මිතුර..... නුඹ, නුඹ උපන් රටේදීම මේ ඝෝර හිමපතනයට හසුව මිය ගියේය.
කෙසේ හෝ හෙට මට නුඹේ නිසල කය බලන්නට එන්නට සිදුව ඇත. මට එයට සවියක් ඇති දැයි මම නොදනිමි. නාවොත් ආදරණීය පසන් අපි නැවත හමුවෙමු.

නුඹ ආධානග්‍රාහී භෞතිකවාදියෙක්ද නොවීය. අපගේ අවසන් දාර්ශනික සාකච්ඡාවේදී අපි පුනරුත්පත්තිය ගැන කතා කළෙමු. රුසියාවේ පාරමානසික පර්යේෂණයන් ගැන කතා කළෙමු. එහෙත් පුනරුත්පත්තියක් තිබුණත් නැතත්, ඒ දැනගත්තත් නැතත් නුඹට වගේ වගක් තිබුණේ නැත.

එහෙත් වැරදීමකින් හෝ එවැන්නක් තිබුනොත් මේ දහදුරා කොදෙව්වේ නැවත නුඹ නොඉපදේවායි පතමි. නුඹ වෙනුවෙන් මට කළ හැකි එකම දෙය එපමණය.

මා හා කී නුඹේ අවසන් වදන්ම පෙරලා මම අද මෙසේ නුඹට කියමි.

අපේ හමුවීම සුන්දරයි. ආර්ට් කොච්චර කැත වුණත් මේ හමුවීම සුන්දරයි. ආයිත් හම්බවෙමු.



-සර්පයා  | ආලේඛ්‍යය- නිලන්ත ගමගේ

 

ඝාතයන්ගේ සාදය හෙවත් සිරිසේනගේ කොන්ද

 

M

ඝාතයන්ගේ සාදය දැන් අරඹී ඈත. දෙමළ වර්ගසහාරයේ ප්‍රධාන චූදිතයා ජීවිත කාලයටම ෆිල්ඩ් මාර්ෂල් වී ඇත. මහජන මුදල් මිලියන් ගනනි කොල්ල කෑ රාජපක්ෂ කල්ලියේ මංකොල්ලකරැවන් ආමාත්‍යවරැන් වී ඈත. ජනතාවට ආප්ප මිල අඩු වූ නිසා අප්පයක් ලොවන්නටද සීනි නැති ප්ලේනිටියක් බොන්නටද පුලුවන් වී ඈත.

ලංකාව වැඩකරන්නේ අවුට්ඕෆ් තියරිය. මිනීමරැවන්ට පක්ෂ නායකයන් විය හැකි අතර මිනීමරැ දේශපාලඥයන්ට ෆීල්ඩ් මාර්ෂල්ලාද විය හැකිය. එසේම මිනීමරැ මංකොල්ලකාරයන්ට ඡන්ද පරාද වූවද ජනෙල් වල එල්ලී මම පාරද නැති බවද කිව හැකිය.එසේම මිනීමරැ දැන් විවේක ගනිමින් සිටිනවාද කිව හැකිය. එසේම ජනතාව එක් වරක් නො සිය වරක් රැවැට්ටිය හැකිය.

විධායක අටමගල ඉවත්කරනවා කියා පැමිණ නෑ අපි එහෙම කිව්වේ නෑ කියාද කිව හැකිය. රාජිත සේනාරත්න වගේ එක්ක වහන්නට එක පිට එක් බොරැ ලොරි ගණනික් බෑ හැකිය. එයට කියන්නේ අමාංත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක කියාය.

අප සීරැවෙන් බලාගෙන සිටිමු. යහපලන මහත්වරැනි, කොල්ලනි,බල්ලනි මතක තියා ගන්න සටන නිම වී නොමැත.

එම නිසා මේ මො​​හොත අප ඝාතයන්ගේ සාදය කියා නම්කරමු.
අවසානයේ සිරිසේන මහතාට තිබෙන්නේ කොන්දක්ද ? කෙන්දක්ද කියා අපට බලා ගත හැකිය.


මහත්වරැන් Pink Floyd ලාගේ මේ සිංදුව දැනට අසාගෙන ඉන්න -

" Welcome my son, welcome to the machine.
Where have you been?
It's alright we know where you've been. "

 

- By LMG

 

ලංකාවේ ජාතික ගීය ගැන මහගම සේකර දක්වා ඇති විවේචනය

20590 10152987191714279 5378920042698714247 n

චිත්‍රපටිවල දේශානුරාගී ගීත ගැන කියනකොට අපට ආදර්ශයට ගන්න සිදුවෙලා තියනවා ජාතික ගීය. නමුත් අපේ ජාතික ගීයෙත් දුර්වලකම් කීපයක් තියනවා කියලයි මට හිතෙන්නෙ. ජාතික ගීය රචනාකරන අවධිය වෙනකොට ආනන්ද සමරකොන්ගේ රචනා ශක්තිය ක්‍රමයෙන් දුර්වල වී ඇති බවයි පෙනෙන්නෙ. මෙබඳු අඩුපාඩු දක්නට ලැබෙන්නේ ඒ නිසයි. අප සිත් තුල අභිමානයක් හෝ වීර හැඟීමක් ඇති කිරීමට මේ ගීතය ශක්තිමත් මදි. ජාතික ගීය අපිට ඇහෙන්නේ හරියට යාච්ඥාවක් වගෙයි. සමහරවිට ගීතයට යොදා ඇති තනුව මීට හේතුවක් වන්න පුලුවන්. ගීතයේ ගුරු අකුරු රාශීයක් තිබීමත් මීට හේතුවක්. ගුරු අකුරු වැඩි උනාම මොන රචනයක් උනත් අපට ඇහෙන්නේ නැළවිල්ලක් වගෙයි. පදමාලාව දෙස බලනකොට නම් ඇත්ත වශයෙන්ම මෙය ආයාචනයක් තමයි.

ශ්‍රී ලංකා මාතා... අප ‍ශ්‍රී...... ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා......
සුන්දර සිරි බරිනි සුරැදි අති සෝබමාන ලංකා.....
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි
ජය භූමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා.....
ජීවනයේ මාතා.....
පිළිගනු මැන අප භකිතී පූජා
නමෝ නමෝ මාතා.....
අප ශ්‍රී.... ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා......
ඔබවේ අප විද්‍යා...... ඔබවේ අප සත්‍යා
ඔබවේ අප ශක්තී...... අප හද තුල භක්තී......
ඔබ අප ආලෝකේ...... අපගේ අනුප්‍රානේ
අප ජීවන වේ...... අප මුක්තිය ඔබවේ
නව ජීවන දෙමිනේ
නිතින අප පුබුදු කරන් මාතා....
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන
ජය භූමි කරා....
එක මවක‍ෙග දරු කැල බැවිනා
යමු යමු වී නොපමා.....
ප්‍රේම වඩා සැම භේද දුරැ ල ලා....
නමෝ නමෝ මාතා..... අප ශ්‍රී.... ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා......
අප ශ්‍රී.... ලංකා....... නමෝ නමෝ නමෝ නමෝ මාතා...

ගීතයේ මුල් පද වලින් රචකයා ලංකාවේ ස්වභාව සෞන්දර්ය වර්ණනා කරනවා. ලංකාව සියලු යස ඉසුරින් පිරි ජය භූමියක් කියනවා. ඊලඟ පදවලින් මාතාවකට වගේ ආමන්ත්‍රණය කරලා මෙහෙම කියනවා. අපට සිරිසෙත ගෙන එන්නේ ඔබයි. අපේ විද්‍යාවත් අපේ සත්‍යයත් ඔබයි. අපේ ශක්තියත් අපේ භක්තියත් ඔබයි. ‍මේ කීමෙන් පැහැදිලිවන්නේ කුමක්ද? ලංකා මාතාව සියලු දෙයින් සම්පූර්ණ බවයි. ඒ එක්කම අදහස් වෙනවා කිසිම දෙයක් අපට නැති බව. 'ඔබ වේ අප ශක්තී' කියන කියමනෙන් අදහස් වෙන්නේ 'අපට කිසිම ශක්තියක් නෑ අපට ඇති ශක්තිය ඔබ පමණයි' යන්නයි. ඒ වගේ 'ඔබ අප ජීවය වේ අප මුක්තිය ඔබවේ' යන්නෙන් අදහස් වන්නේ 'අපට නිදහසක් නෑ අපට ජීවයක් නෑ' කියන එකයි. ඒ නිසා ලංකා මාතාවට මොකක් කරන්න කියලද රචකයා කියන්නේ? 'නව ජීවන දෙමින් නිතින අප පුබුදු කරන්න' කියලා. අපට ජීවයක් නෑ එහෙමත් නැත්නම් අපගේ ජීවය අඩපණ වෙලා. අපට ජීවනයක් දෙන ලෙස ඉල්ලා සිටින්නේ ඒ නිසා විය යුතුයි. නිතින අපව පුබුදු කරන්න කියන්නේ ඇයි? නිතර අප නිදා වැටෙන නිසාද? ඥාණ වීර්ය වඩන්නට කියන්නේ අපේ ඥාණ වීර්ය දෙක අඩු නිසාද? මේ අඩුපාඩු සකස් කර අපව ජය භූමිය කරා ගෙන යන හැටියට රචකයා ලංකා මාතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ පිරිසක් ජයභූමියක් කරා ගෙනයන්නට කාටවත් පුලුවන් කමක් නෑ. ඇරත් මේ ජයභූමිය මොකක්ද කියන එකයි ගැටලුව. ලංකාව ජයභූමිය හැටියට රචකයා මුලින් හැඳින්නුවා. එහෙනම් අපි ඉන්නේ ඒ ජය භූමියේ තමයි. දැන් ලංකාවටම කියනවා අපව ජයභූමියට අරගෙන යන්න කියලා. කොහෙද ඔය දෙවනි ජයභූමිය තියෙන්නේ? ඒකයි ඊලඟට ඇතිවන ප්‍රශ්ණය.

අන්තිම පද දෙකේදී ලංකා මාතාව ගැන කිසිම කල්පනාවක් රචකයාට නැතිව යනවා. ඒ නිසා 'එක මවකගේ දරුකැළ බැවිනා යමු යමු' කියලා වෙනම ක්‍රමයකට පිරිසක් සංවිධානය කරන්න පටන් ගන්නවා. මෙසේ ගීතියේ ආකෘතියේ ඇති අපිළිවෙල එක දුර්වලකමක්. ලංකා මාතවක් ලෙස සලකා ඈට ආමන්ත්‍රණය කරන අන්දමට ගීය ගෙනාව නම් මුලසිට අග දක්වා එය එසේ තිබිය යුතුයි. රචකයා මුලදී ලංකාව මාතාවක් හැටියට සලකා එය නමස්කාර කරනවා. නමුත් ඊලඟට මාතාවක් නෙමේ ජයභූමියක්. ඊලඟට නැවතත් මාතාවක්. ඊට පස්සේ තමා මේ ආමන්ත්‍රණය කරන්නේ ලංකා මාතාවට බව ඔහු අමතක කරනවා. කරලා පිරිස දිහාවට හැරිලා පිරිස ආමන්ත්‍රණය කරලා වෙනම සාකච්ඡාවක් පටන් ගන්නවා. 'වාද භේද අමතක කරලා යමු යමු' කියලා. මෙතනදී අපි අතරේ තියන වාද බේදත් මතක් කිරීම සුදුසු නැහැ. අපේ තවත් දුර්වල කමක් මතක් කරදීමක් ඒක. වාද භේද දුරලමු කිවාට ඒවා දුරුවෙන්නේ නෑ. වාද භේද අමතක වෙලා තිබ්බ නම් ඒවා නැවත මතක් කර දීමක් ඒක . කවියෙදී එක්සත් වෙමු හා වාද භේද දුරලමු යන වාක්‍ය දෙකන් ප්‍රකාශවන්නේ එකම හැඟීම නෙමෙයි.

ගීතයේ ඇති ලොකුම දුර්වලකම එහි ගැබ්ව ඇති අදහසයි. මුලින් කිව්වා වගේ මේ ගීතය පිහිට පතා කරන ආයාචනයක්. ගීතයෙන් කියවෙන්නේ ජාතියක් වශයෙන් අප දුර්වල බවයි. අපට ඇති එකම පිහිට ලංකා මාතාව පමණයි. මේ නිසා අප ලංකා මාතාවගෙන් ඉල්ලා සිටිනවා අපේ දුර්වලකම් මකා දමලා දියුණුව කරා ගෙනියන හැටියට. මෙය අපේ දුර්වලකම් අපම පිළිගැනීමක්. ජාතිය ගැන අභිමානයක් හෝ විරත්වයක් අප තුල ඇති කිරීමට එසේ කිමෙන් පුලුවන් කමක් නැහැ.

දේශාණුරාගී ගියකදී අපේ පැරණි වීරයින් කළ පහපන්කම් අපට වර්ණනා කරන්න පුලුවන්. අපට ඇති සංස්කෘතික උරුමයේ විටිනාකම කියන්න පුලුවන්. අපේ රටේ මුතු මැණික් ගැන ඇතුන් ගැන ස්වභාව සෞන්දර්ය ගැන මතක් කර දෙන්න පුලුවන්.

ඇත්ත වශයෙන්ම ජාතික ගීයෙන් ප්‍රකාශ විය යුත්තේ එයින් කියවෙන අදහසට විරුද්ධ අදහසයි කියලා මට හිතෙනවා. එනම් ලංකා මාතාව ආරක්ෂා කිරීමට ඇය සෞභාග්‍ය කරා ගෙන යාමට ඇය වෙනුවෙන් ජීවිතය වුවත් පූජා කිරීමට අපට ශක්තිය ඇති බවයි. ඇගෙන් පිහිට ඉල්ලා ආයාචනා කිරීම නෙමෙයි.

(උපුටා ගැනීම - මහගම සේකරගේ නොපළ ගීත. සංස්කරණය රංජිත් අමරකීර්ති පලිහපිටිය. ප්‍රදීප ප්‍රකාශකයෝ. 1984. අයිතිය කුසුමලතා මහගම සේකර. මෙහි පිටු අංක 1 සිට 55 දක්වා මහගම සේකරගේ දේශනයක් පෙර වදන ලෙස යොදා ඇති අතර මේ එයින් උපුටා ගත් එක් කොටසකි.)

සිරි ගුණසිංහ: සිංහල සාහිත්‍ය විප්ලවයන්හි පුරෝගාමියා

sirigunasingheදැනට කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ වික්‌ටෝරියා නගරයේ වෙසෙන මහාචාර්ය සිරි ගුණසිංහ පසුගිය පෙබරවාරි 18 වන දින සිය 90 වන ජන්ම දිනයට එළැඹියේය. දුරු රටක සිටියද සිරි ගුණසිංහ වනාහි සිංහල සාහිත්‍ය රසිකයන් විසින් අමතක කළ හැකි චරිතයක්‌ නොවේ. මේ ලිපිය ඔවුන් විසින් ශ්‍රී ලාංකීය සාහිත්‍යාදී කලා ක්‍ෂෙත්‍රය සාරවත් කිරීම සඳහා කර ඇති සේවාව පිළිබඳ සමරු සටහනකි. Read more...

 

 

සිව් මංසල