15 December 2017
RSS Facebook Twitter   

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

bandula sunil madawaගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල

උදය කාලය

අසූව දශකය මුල් භාගය
නිශ්කාෂණ කවුන්ටරය

චෙක් පත් තැන්පතු භාරගන්නා ලිපිකරු ගනුදෙනුකරුවෙකු භාරදුන් චෙක්පතක අණකරු අත්සන් පරීක්ෂා කරයි

 

ලිපිකරු ; මේ චෙක් එක පොල් මණ්ඩලේ ඔෆිස් එකෙන්ද ?

ගනුදෙනුකරු ; ඔව් මහත්තයා

ලිපිකරු ; අර පෙට්ටිගලවත්තෙ ඔෆිස් එකේ ?

ගනුදෙනුකරු ; ඔව් ෂෙඩ් එක ළඟ
ඇයි මහත්තය වරදක්ද , ඔය පොල් සහනාධාරේ

ලිපිකරු ; නෑ නෑ මට ඒ ඔෆිස් එකට යන්න තියෙනවා

චෙක් පතේ පළමු අත්සන පෙන්වමින් අසයි

ලිපිකරු ; මේ අත්සන ගහපු මහත්තය මොන වගේ කෙනෙක්ද ?

ගනුදෙනුකරු ; අපි එතනට යන්නේ නැහැ නොවැ .... මිසී කෙනෙක් තමා ඕක දුන්නෙ පොතේ අත්සන අරගෙන

ප්‍රධාන ෆොරමයෙන් රිසිට් කොටස ගනුදෙනුකරුට දෙන ලිපිකරු චෙක්පත වෙනම තබා ගනී


ලිපිකරු මා , දහවල් කෑම පැයේ කෑම නොගෙන පෙට්ටිගලවත්තේ ෂෙඩ් එකට සමීපව ඇති කහ හුණු තැවරූ පොල් මණ්ඩලේ කාර්යාලයට ගියේ දුර ඇමතුමකින් අත්සන්ධාරියා සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුවය

" මම කොමර්ෂල් බැංකුවෙන්

සුනිල් ආර් ගමගේ මහත්තයද කතා කරන්නෙ ?"

"ඔව් "

"මට හම්බ වෙන්න පුලුවන්ද ?"

"මොන වගේ අවශ්‍යතාවයකටද"

"පොල් සම්බන්ධයෙන් නම් නෙමෙයි ගීත ගැන "

"කීයටද "

"මගේ lunch hour එක 12 - 1 ඒ වෙලාවට ? "

"කමක් නෑ "

"මොකද්ද නම "

"මම අසුවලා "
"ඔයත් සින්දු ලියනවනේ , ගාල්ලෙද ඉන්නෙ ?"

"ඒක නම් එහෙම තමා , මම එන්නද ?"

"අදම හදිසි නැත්නම් කරදරයක් නේද ? මන් දන්නෙ නෑ "

"මට එන්න ඕනේ "

"එහෙනම් එන්න"

ඔබේ ගිණුම් නිලධාරි මේසය අබියස සිදුවූ ප්‍රථම හමුවීමේ සිට සියල්ල මා ළඟ scan පිටපතකි

අපි බොහෝ දේ කතා කළෙමු

ගීත නිසා ගීත වලට වඩා බොහෝ උසකින් ඇති මොන තරම් වැදගත් මෙන්ම අව්‍යාජ , අවිහිංසක දෑ ඒ කතා අතර වූවාද ?

ප්‍රථම දිනයේදීම ඔබ හට මා බන්දුල මල්ලී විය

මා හට ඔබ තවත් සුනිල් අය්යලා අතර නවමු සුනිල් අය්යා වීය

"මල්ලි කෑම කාල නෑ නේද කෑම ටිකක් කමු ?"

"අම්ම හදල දුන් කෑම එක බැංකුවෙ මට බඩගිනිත් නෑ "

"අපටත් ගෙදරකින් තමා හදන්නේ ගිහින් කමු "

ඔබේ ගජ මිතුරු අද අප'තර නැති නොච්චියාගම සිට රාජකාරියට පැමිණි රත්නායක මහතාත් සමඟ ඉදිරිපස සෙවනතේ කෑම කා යලිත් කතා බහේ නියැලීමි.

"මරු සින්දුවක් මම ඇහුව මල්ලි වික්ටර්ගෙ කව්ද දන්නෑ ලියල තියෙන්නෙ සමහර විට ලූෂන් වෙන්න පුළුවන් "

"මොකද්ද මුල් වචන ?"

"එකපාරයිනේ ඇහුවෙ , නිකම් ....මේවගේ

රූකඩ මඩු යාග පොලේ - රුවට නුඹේ ලොලේ වගේ ....?"

"ආ ඒක අලුත්ම සරල ගී එකේ ආවේ ලියල තියෙන්නෙ ලුෂන් අය්යා නෙමෙයි කොබවක "
"ෂාහ් මාරු වචන ටික "

"රුවට නුඹේ ලොලේ නෙමෙයි , කෝල නුඹේ රුවට ලොලේ "

එදා හවසම ගාලු කොටුවේ රමනීයම සාවිය වන රෑම් පාට් හිදී හමුවන්නට තරම් ඒ බැම්ම , ගැලපීම තියුණු හා ප්‍රබල වීය

මා නන්දක්කාට පවා 1981 වන විට ගී ලීවාට සුනිල් එදිරිසිංහයනට ගී ලියා නොතිබීම ඔබට දැඩි විස්සෝපයක් වීය

ගීතය හෝ මොනයම් මාතෘකාව ගත්තද කිසිදා ඒ සංවාද නිමා වූ ඒවා නොවීය
එනිසාම අපි නැවත නැවත හමුවීමු

අපේ මේ මුණගැසීම නිසා හෘදයෙන්ම එතුවක් කරගෙන ආ ක්‍රිකට් ගැසිල්ල නතර වූ බව ඔබ දැනගත්තේ අහම්බෙන් ගාමිණි සමරරත්න මිතුරාගෙනි .

"මල්ලි මේ මාත් ක්‍රිකට් ගහනවා , අපි හවසට සෙල්ලම් කරමු "
මම මවිත වීමි

"සුනිල් අය්යගෙ වමත බැරිව කෝමද ක්‍රිකට් ගහන්නෙ ?"

මම ඔබේ හිත නොරිදෙන සේ ඇසුවෙමි

"සුනිල් අය්ය ගැන බන්ධුල මල්ලි දන්නේ තාම ටිකයි , අපි ගහමුකෝ "

ඔබ දෘඩ උට්ඨාන වීර්යයක් ඇත්තෙක් බව දැන සිටියෙමි. නමුත් තනි අතින් පිත්ත සමතුලනය කොට ඔබ මුළු ගතම එකම සංයුක්ත වස්තුවක රැඳවූයේ
පුදුමසහගත ලෙසය , එමතුද නොව , තනි අතින් පන්දුව ගුවනට විඳින්නට ඔබ තුල තිබූ සියුම් සංයත ගුණය , පසු කලකදී ඔබ ලියු ගීතවල තිබූ බව උදාහරණ දක්වමින් විස්තර කල හැකිය

අප හඳුනාගත් මුල් සතියෙම වාගේ මම ඔබ එකල නිවැසූ බැද්දගානේ බදු ගෙදරට ඔබ හා ගියෙමි

ඔබ හැමෙකෙකුම entertain කරන්නෙකු නොවීය

එනමුත් මා කෙරෙහි ඔබේ තිබුනේ පතාගෙන ආවාක් වැනි සහෝදර කමෙකි .

දිනක් මා ඔබෙන් මෙසේ ඇසුවේ ඔබ පිලිබඳ සෑහෙන අවබෝධයක් ලැබුවායින් පසුවය

"මුලින්ම මම සුනිල් අය්ය හමුවෙන්න ඇහුවම එන්න කියල ආයේ මම ගීත රචකයෙකු බව දැන ගත්තම අදම හදිසියෙ හමුවෙන්න ඕනෙද කියල ඇහුවෙ ඇයි ..? මම ඒ කතාවෙන් ඇත්තටම අපහසුතාවයකට පත් උනා එදා ඔබට නොපෙන්නුවට ...."

"ගීත රචකයො නිසා මම අපහසුතාවලට නෙමෙයි ගීත ලියන්න පවා එපා වුන අවස්ථා මල්ලි දන්නවනම් මගේ ඒ දෙවැනි සිතුවිල්ල තේරුම් ගනීවි"

ඔබ කියූ ඒ අත්දැකීම ඔබ සමගම විඳගන්න මට සිදුවූයේත් , දෙවිවරුන් වැනි අයද මේ ක්ෂේත්‍රයේ සිටින බවද ඔබ එක්කම අත්දකින්නට ලැබුනේත් ගීතය මහා පුදුම , දිව්‍යමය දායාදයක් බව සපථ කරමින් .

ඔබට මිතුරන් හෝ පිරිවර වැඩි කර ගැනීමට , නැතිනම් සෙනග සපිරිවරා සිටීමට හිතක් නොවීය

කෙනෙකු ඔබ පිලිබඳ වැරදි අදහසක් ඇති කරගෙන ඇතිබව දැන දැනත් එය වෙනස් කරන්නට හැකි බව මෙන්ම ලෙහෙසියෙන් වරද හදන්නට පුළුවන් වුවද ඔබ එය නොකර සිටී . හරියට

"මා ගැන හරිහැටි ඔවුන් දැනගත් දාක මට නොකියතැ ' යි " කියා සිතන්නට වාගේය .

ඔබේ චාම් ගති පැවතුම් මෙන්ම කල්පනා කර බලා තීරණ ගැනීම මා වැනි ඔබේ මල්ලිලාට පූර්වාදර්ශයක් ම වීය .

අපේ හැඳුනුම් කම සමග , වෙන වෙනම ස්වායත්තව එතෙක් අප ඇසුරු කළ නිවස්න හා මිනිසුන් අප දෙදෙනා සමග එක්ව ඇසුරට වැටීම තවත් මිහිරි සිදුවීමකි . ඉන් එකක්‌ 'රුහුණු සේවයයි '

තනි තනියෙන් අප සේවා සැලසූ (අතින් වියදම් කරගෙන නිර්මාණත් වියදම් කරගෙන ) රුහුණු සේවයේ ලයනල් අය්යා (කඩවතආරච්චි ) , සමන් සුසිරි වැනි අව්‍යාජ මිනිසුන් සමග අය්යා - මල්ලී වාගේ වැඩ කළ ඒ රුවන් සමය දෑසට කඳුළු නංවයි

හද්දා ඈත ඇඹිලිපිටියේ තුංකම අංජලී කොඩිතුවක්කු නවක ගායිකාව, අව්‍යාජ ගැමි තාත්තා සමග රුහුණු සේවයට ආ විට ඔබ සති අන්තයේ ගෙදර නොගොස් මා 'අවිහිංසක දෑස් අගින් කඳුළු බින්දුවක් හෙලන්න ' ඇයට ලියද්දී ඔබ 'හිචිචි නැගේ නුඹ නාඩ ඉඳින් ' ලියුවෙහිය
හික්කඩුව වැරල්ලානේ සිට පැමිණි සුගතදාස කපුගේ නම් අපූරු කටහඬ ට ඔබ 'සූරියරානි' ලියද්දී මම ඔහුට 'නෙත් කෙවෙනි පුරා ගලනා ' ලීවෙමි .
අම්බලන්තොට මල්පෙත්තාව පැත්තේ රවී ගමගේට මම 'නුඹ වෙනුවෙන් හද පතුලේ ' ලියද්දී ඔබ 'වයිරෝ ' නම් අමා ගීතාව ලීවෙහිය .
මගේ මිතුරු ගාල්ලේ සෙනරත්ට 'බින්දුලතා' ලියද්දී ඔබ 'කඳුළු සයුරේ බිඳෙන රළ ' ලීවෙහිය

පුදුමයි නේද සුනිල් අය්යේ අපි එකල ලියු , වැඩකළ තරම් නේද ?
තව බුද්ධික හෙට්ටිආරච්චිලට , කරුණාසේන ජයවර්ධනලට , ලයනල් කඩවතආරච්චි ලට අපි ලියු ගී මතක් කලොත් මෙය රුහුණු සේවය ගැන ලිපියක් වේවි

මේ එකල තරුණ ශිල්පීන්ගේ නම් මෙසේ කීවේ අද මෙන් මහා ව්‍යාපාර , ප්‍රතිරූප හදන සුපර් ස්ටාර් සැණකෙළි නොව ගමේ හඬක් ඇති අයට ඔබ වන් එකල ප්‍රවීනයන් නිර්ලෝභීව අත දුන් අයුර ලොවට කියන්නටය . එහිම වැඩීයාමයි ඔබ "තුරුණු ශක්ති " තුලින් හෙළි කලේ . ශෂිකා නිසංසලා හෝ සුභානි
හර්ෂනී වන් ගායිකාවක් දකිද්දී ඔවුන් ගේ හඬ යටින් මට ඇසෙන්නේ ඔබේ ලෙන්ගතු ගද්‍ය ස්වරයයි .එක අතකින් ලිපි වල අප ලිවිය යුත්තේමේවා නොවේද ? මෙය ඔබේ පුද්ගලික උත්සවයකි . එයට ඔබ පුද්ගලිකව දැකීම පොදු කරනුවා විනා විදග්ධ ලිපියක් සැපයීම නොකළ යුත්තක් හැටියටයි මට පෙනී යන්නේ .

ඔබට පුදුමය දනවන්නට 1985 න් පසු අසා නැති , තැටි පටි වල නැති ඔබේ ගීත කටපාඩමින් කියන්නද සුනිල් අය්යෙ ?

"කඳුළු සයුරේ බිඳෙන රළ මැද සිහින ඔරුවක නැගී එන්නම්

ඔබේ පෙම්බර සිනා තොට ළඟ ගිමන් නිවනට නතර වෙන්නම්

නගේ නුඹ ළඟ නතර වෙන්නම් ....

සුළං රැල්ලේ පා වෙවී ළමා සාරියෙ නෙරිය නැටුවා

ලපටි මල් පෙති කිති කැවී අපේ තනියට ලඟින් සිටියා

නගේ අපගේ ලඟින් සිටියා

කතා අසමින් අප දෙඩූ දොලේ ගීතය හිමින් ගැලුවා
කඳුළු පඳුරේ මල් හැලී නුඹේ රුව හීනෙකත් නැතුවා
නගේ නුඹ දෑසටත් නැතුවා "

ඇයි මේ අතීතය මෙහෙම පාඩම් හිටින්නේ ?

ඒ අතීතය සුවඳ නිසා

අපි හදවතින්ම එකිනෙකා අගය කළ නිසා

දවසක් පිළියන්දල මහා ටවුමෙදි ඔබට එක්තරා ගීතයක ඉතිහාසේ කියන්න ඕනේ කළා ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් ළඟ

'සාප්පුවක බෝනික්කෙක් ' ඔබේ ගීතය ගැයූ ලයනල් අයියාගේ අලුත්ම duet එක මාලිනි අක්කා (බුලත්සිංහල ) සමග ගැයූ

ඔබ නළලට අත තිය තිය කල්පනා කරනවා

මෙන්න මම කියනවා තනුවත් එක්කම HM අය්යා හදාපු

"පෙම්වතුන්ගේ ලෝකයේ

කිරුළු නොපලන් රජුන් වෙමි මං

සොයම් අග රැජිනක් " ඒ ලයනල් අය්යා

මාලිනි අක්කා කියනවා

"පෙම්වතුන්ගේ ලෝකයේ
රැජින වන්නට පෙරුම් පුරනෙමි
නැතිද මට වරමක් ?"

ඔබ බොඳ දෑසින් මා දිහා බැලුවා මද්දහනේ

කෘතවේදීත්වය පිටාර ගැලුවා මා වැනි පොඩි එකෙක් වෙනුවෙන්

'මගේ ' සින්දු ගැන දන ගන්න ඕනේ නම් 'මුගෙන් ' අහන්න ඕනි

ඔබ කියන්නෙ body guard ව පෙන්වන චන්ඩියෙක් වගේ

ආයෙත් එහෙම කාලයක් එන්නෙ නෑ නේද සුනිල් අය්යෙ ?

අපි CTB බස් එකේ ගාල්ලෙ ඉඳන් යන ?

ගිහින් රත්මලානෙ බැහැලා වේරහැරට යන ?

වේරහැරට ගිහිල්ලා තොටමුණ ලඟට ඇවිත් පාරුවෙ ගොඩවෙලා පුංචි ගෙදරට යන ?

ගෙදර ට ඇතුළු වෙනකොට හිනා සපිරි සඳ මුහුණින් සිටින විජයානි අක්කට

"අයිඩා මට නම් ඕනේ නෑ මෙන්න මූට හොඳ රහට ප්ලේන් ටී එකක් හදන්ට " කියන ?

ආයෙත් එහෙම කාලයක් එන්නෙ නෑ නේද සුනිල් අය්යෙ ?

බැද්දගානේ බදු ගෙදරින් ඇවිත් , වේරහැර 'මානිල් ' මහ ගෙදරට පෙර හමුවන සුනිල් අය්යලාටම අයත් පුංචි ගෙදර පදිංචියට ආවම තමා අපේ මිතුරු දමේ , සහෝදර කමේ කුටප්‍රාප්තිය සිද්ධ වෙන්නෙ ...ඔබ කලක් අවෑමෙන් පොල් මණ්ඩලේ වැදගත් රස්සාවෙන් අස්වෙලා බිස්නස් කරන්න ගත්තු තීරණයට මගේ වයසෙ හැටියට විරුද්ධ උනත් මම ඊට වඩා පරිණත මිතුරෙක් උනා නම් ඒ තීරණයට එන්න දෙන්නෙ නෑ . ඔබට බිස්නස් හරියන ක්ෂේත්‍රයක් නෙමෙයි . ඔබ හරි ශූරයි !ඒ උනාට සාර්ථක බිස්නස් කාරයෙකුගෙ ලක්ෂණ ඔබේ නළලෙ කොටා නැති බව මම ඇහැ පියාගෙන කීවෙ ඒ වෙනකොට බැංකුවට ඇවිත් අවුරුදු 5 ක් නූනට ඒ ටිකට හරි බිස්නස් කාරයො මා දැක තිබු නිසා ....!

මේ කොහොම උනත් ඔබේ "පද්මාලී ට්‍රේඩර්ස් " එක ඔබට වඩා අපේ වගේ උනා

විජයානි අක්කා කඩේ ඉන්නකොට එන චරිත වලට ඇය මූන දෙන , කටයුතු කරන විතරක් නෙමෙයි ඈ ඔරොත්තු දෙන විදියත් ගීයක් වගේ

ඇතැම් විට ඔබත් අක්කත් දෙන්නම නැතිව කඩේ සහායක කොලුත් මාත් දවස ගෙන ගියා

මම බැන්කුවෙත් කැෂියර්

සති අන්තේ පද්මාලී එකෙත් කැෂියර්

බැංකුවේදී වගේ නෙමෙයි ඔබේ කඩේදී ලාච්චුවෙ මුදල් පිරෙන කොට මගේ හිතත් පිරෙනවා

අක්කා පිළිගැනීමේ නිලධාරිනිය කරලා මම සල්ලි ගන්න ගමන් පුංචි cash පොතේ ගණන ලියනවා

"මල්ලි සිකුරාදට තමා හිඟමන් එන දවස , ඔය වීදුරු බෝතලේ මාරු සල්ලි වලින් ඒ එන අයට සල්ලි දෙන්න "

කඩේ වහන්නෙ රෑ 8 පහුවෙද්දි , මතකද විජයානි අක්ක ගන්නව කැන්ද කොළ වල ඔතාපු මෙලෙක ඉදියප්ප මුල් , ඒ පොල් මැල්ලුමත් අමා රහයි. ගෙදර ගියපු
ගමන් අක්ක පරිප්පු හොද්ද හදන්න ගන්නව , බනිද්දි බනිද්දි මම පොල් ගානව

"රංජා මේ මෙයාට කියන්න බැංකු රස්සාව කරගෙන ඉන්න කියල , කඩේ කැෂියර් කම් කරල ඒ පාර පොල් ගානව "
සුනිල් අය්ය හිනා වෙනව
"ඇයි සුනිල් අය්යෙ ඔය දෙන්න ඔච්චර ලස්සන නම් තියාගෙන අයිඩයි - රන්ජයි කියා ගන්නෙ ?"
"සුනිල් ආර් ගමගේ කියන්නෙ සුනිල් රන්ජිත් ගමගේ ඒකයි"

ඔබ හා මා හඳුනාගැනීමට පෙර වෙන වෙනම ඇසුරු කළ නිවස්න , ආයතන , පුද්ගලයන් අපි හඳුනාගත්තයින් පස්සෙදි එක්ව ඇසුරු කිරීමක් ගැන මම කීවේ !

රුහුණු සේවේ එක තැනක්

දෙහිවල පාරේ , කළුබෝවිල අංක 90 පිහිටවා තිබු singlanka තව තැනක්

රෝහණ වීරසිංහ නොහොත් රෝහණ අය්යා තව කෙනෙක්

කුලරත්න ආරියවංස නොහොත් කුලේ අය්යා තවත් කෙනෙක්

ඔහු රෝහණ අය්යා වගේම තවත් කෙනෙක් උනේ නෑ අපි දෙන්නටම

1984 දිහාවේ රෝහණ අය්යා මට අභියෝගෙ දීල තිබුනෙ එඩ්වඩ්ගේ අලුත්ම කැසට් එකේ

"නටන්න ගස් වටේ දුවන්න කෑ ගසා

වැල් වලින් එතී රඟන්න කෝ

කියන්න දැන් ඉතින් කියන්න මොර ගසා

මා ඔබෙයි කියා කියන්නකෝ "

මේ ඩමිය මම අරගෙන ආවේ ඔබේ ගෙදර

"මල්ලි අක්කත් මමත් කඩේ යනව ඔයා වෙලාව අරගෙන ඕක ඉවර කරගෙන කඩේට එන්න "

ඔබල ගියායින් පසු මම පුදුම මහන්සියක් ගත්තෙ දමියට වචන දාන්න

ගෙදරදී ලියාගන්න බැරිඋන නිසා මම කඩේට ආව

"ෂාහ් හිතුවට වඩා දක්ෂයිනේ ලීවද , කෝ බලන්න ?"

මම ඇඹුල් වූ මුහුණින් ඩමිය ඔබේ අත තැබුව

'ලිව්වෙම නැත්ද මොකවත් ?"
'මල් කිනිත්ත වාගේ උයන සරසලා - ආදරෙන් වෙලී බලන්නකෝ '

ඉතින් ?

"හරි නෑ සුනිල් අය්යෙ තිලංගනී චන්ද්‍රසේනගෙ සින්දුවක් තියෙනව 'මල් කිනිත්ත වාගෙ චුටි නංගි ලස්සනයි ' කියල

මම ඔබේ පද්මාලියෙ ෆ්රීසරේ ළඟ කොල්ල වාඩිවෙලා ඉන්න තැන මිටි පුටුවෙ ඉඳගෙන ලියන්න තතනනව

ජීවිතේට මේ මෙලඩියට නම් මට වචන දාන්න ලැබෙන්නෙ නෑ ; අපරාදෙ රෝහණ අය්ය ඉස් ඉස්සරවෙලාම දුන්නු ඩමිය

මට එහෙම හිතෙනව

"මේ මල්ලි ඕක ඔහොම හරියන්නෙ නෑ , ආපහු අපේ ගෙදර යන්න , බත් ඇතිනේ , නාල fresh වෙලා try කරන්න ටක් ගාල ලියවේවි "

මම ආපහු කටුවාවල 8 කණුවේ බැහැල යනවා කූටකේ

"ඇත්ත නේන්නම් , නෑවම තියෙන සනීපෙ ? මේ ලියවෙන්නෙ , "

"හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා

ඇඳෙන්නෙ ජීවිතේ කතාවදෝ

හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා

කියන්නෙ ජීවිතේ මුලාවදෝ "

ආයෙත් මම කඩේ ළඟ
"
ඇයි මල්ලි ඒ පාර මොකද උනේ ?"

"හරි ගියා "

"කෝ "

"මෙන්න "

"තරු ඇසක් ඇරී උදා ගිරේ

බිම් මලක් මුවින් සිනා නැගේ

තරු ඇසේ කතා මියේද බිම් මලේ හිනා මැකේද

මේ අරුතදෝ ආදරේ "

"හඬන්න ලංව කියන පටන් ගැනීමෙන්ම මේක hit වෙනවා මල්ලි "

ඔබ කියන විට මට ඇති වෙන්නෙ දුකක් , ඔබේ ගීතයක් මේ කැසට් පටයෙ නැහැ ; මා වාගේම ඔබ හිතුවෙත් , කුලේ අය්ය හිතුවෙත් 'හඬන්න ලංව ' ලිව්වෙ ඔබලාය කියල , මන්ද ඔබ දෙදෙනාගෙම ගී එහි නෑ

මේ සහෝදරකම් 2015 නෙමෙයි සියවසක් එහාත් දැනගන්න ඕනේ . මේව අපි නොකීවොත් ඔබලාද කියන්නෙ ?

 

 

සිව් මංසල