21 July 2018
RSS Facebook Twitter   

ඉතිහාසය, නවකතාව සහ ආදරණීය වික්ටෝරියා

 

Mohan

ඉතිහාසය යනු අතීතයද? එය කතන්දරයක්ද? වර්ත මානයට එහි ඇති සබඳතාවය කුමක්ද? ඉතිහාසය රේඛීයද? චක්‍රීයද? ගැඹුරු ශාස්ත්‍රීය තලයේදී මෙන්ම එදිනෙදා සංවාදයේදීද මෙම ප්‍රශ්න ඉතිහාසය අරබයා සාකච්ඡාවට ගැනේ.

ඉතිහාස නවකතාව නිර්වචනය කිරීමේදී එය අතීත කතා පසුබිමක අතීත යුගයක තත්ත්වයන් ජනිත කිරීමේ අරමුණින් ලියනු ලබන ප්‍රබන්ධය ලෙස අර්ථකථනය කළ හැක. නමුත් එය ”ඉතිහාස කතන්දර’ ගණයට නොවැටී ප්‍රබන්ධමය ලක්ෂණ හරහා නවකතාවක් බවට පත් කිරීම අභියෝගයකි. මොහාන් රාජ් මඩවල තම කෘති හරහා මෙම අභියෝගය ජයගැනීමට සමත් වී ඇත.

ඉතිහාස නවකතාවකදී අවශ්‍යයෙන්ම ඉටුවිය යුතු කරුණු දෙකකි. ඉතිහාසය විකෘති නොකර යථාරූපී හා විශ්වසනීය ලෙස ඉදිරිපත් කිරීම පළමුවැන්නයි. (මෙය ඉතිහාසය අලූත් අර්ථකථනයට භාජනය කිරීම හෝ සම්මත ඉතිහාසය විසංයෝජනයට ලක් කිරීම සමග පටලවා ගත යුතු නොවේ.)

ඕනෑම යුගයක ඉතිහාසය යනු එම සමකාලීන සමාජයේ අධිපති මතවාදයේ ප්‍රකාශනයක් වීම නොවැළැක්විය හැකිය. එබැවින් ඉතිහාසය හැමවිටම එක්තරා ආකාරයක විකෘතියකි. එම විකෘතියේ හැඩරුව විවිධ ස්වරූප ගන්වා, සහෘදයාට නව ඉතිහාසයක් පරිකල්පනය කිරීමට ඉඩදීම ඉතිහාස නවකතාකරුවාගේ වගකීමය.

ඉතිහාස නවකතාවක් සම්බන්ධ දෙවන කරුණ නම් ඉතිහාස ප්‍රබන්ධකරුවෙකු සිය කෘතිය හරහා වර්තමානය ප්‍රක්‍ෂේපනය කරන්නේ ගවේෂණය කරන්නේ කෙසේද යන්නයි. පෙර සඳහන් පරිදි ඉතිහාසය රේඛීයද? චක්‍රීයද? යන ගැටලූවට මාක්ස්වාදී දර්ශනය තුළ අතිශය නිර්මාණශීලී විද්‍යාත්මක පිළිතුරක් සම්පාදනය කර ඇත. එනම් ඉතිහාස චලිතයේ ගමන්මග සර්පිලාකාර එකක් බවයි. එසේනම් අපට චක්‍රීය ස්වභාවයෙන් යළි යළිත් සිදුවෙන ලෙස පෙනෙන සංසිද්ධීන් වෙනත් ගුණයක් අත්පත් කරගත් වෙනත් සිද්ධියක් බව පැහැදිලි වෙයි. ඉතිහාස නවකතාකරුවා මෙම ගුණය කොතෙක් දුරට ග්‍රහණය කරගන්නේද සහ ඒ අනුව සිය පරිකල්පනය හසුරවන්නේද යන්න ඉතා වැදගත්ය.

සිය ප්‍රථම නවකතාව වූ ‘මාගම් සෝලිය’ සඳහා මොහාන් රාජ් මඩවල පාදක කරගන්නේ අධිරාජ්‍යවාදී සමයේ උඩරට රාජධානියේ ජනතා අරගල සිදුවෙද්දී එක්තරා ගම්මානයක ජීවත් වූ වැසියන්ගේ ජීවන අන්දරයයි. ඒ හරහා මානව ශිෂ්ඨාචාරයක් ව්‍යාකූල සමයකදී විවිධ ප්‍රතිවිරෝධතාවයන්ට මුහුණදෙන ආකාරයත්, ඒවා ජයගැනීමට ගන්නා උත්සාහයේදී විවිධ ස්වරූපවලින් පුද්ගල සන්තානයන් ඊට ප්‍රතික්‍රියා දක්වන ආකාරයත් නිර්මාණශීලීව ඉදිරිපත් කරයි. නිර්මාණයෙහි පසුබිමෙහි විමුක්ති අරගලය වුවද පෙරබිම සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.

සිය දෙවන ප්‍රබන්ධය වූ ‘ලොවීනා’ කෘතියට ඔහු පාදක කරගන්නේ කන්ද උඩරට රාජ්‍ය සමයේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සමයේ සිට සර් තෝමස් මේට්ලන්ඞ් ආණ්ඩුකාරවරයා දක්වා කාලය තුළ වූ සත්‍යවූත්, පරිකල්පනීය වූත් සිද්ධි සමුදායක භාවමය ප්‍රකාශනයයි. රාජ්‍යය, බලය සහ ස්ත‍්‍රිය යන කුළුණු ත‍්‍රිත්වය මත රැඳවූ ප්‍රබන්ධය පාඨකයා හෘදය සංවාදයකට කැඳවයි. මෙහිදී පාඨකයා කියවීම නම් වැඩබිමෙහි වෙහෙස වන්නෙකු නොවේ නම් අර්ථ සූචනය කරගැනීම දුෂ්කර වනවා පමණක් නොව අර්ථ පදාසයන් අත්හරින්නෙකු බවට ද පත් වේ. ලිපියේ සීමාව තුළ නිදසුනක් පමණක් ගෙන හැර දැක්වීමට උත්සාහ ගනිමි. ‘ලොවීනා’ ප්‍රබන්ධයේ ප‍්‍රමිලා දේවියගේ ව්‍යාධිය සුවපත් කිරීම සඳහා ගණිතසාර ඇදුරා නිර්මාණය කළ බලිරූපය පරීක්‍ෂා කිරීමට රජු පැමිණි මොහොත විමසා බලන්න.

”මේ තියෙන්නෙ බොල ඇස් පේන්නෙ නැද්ද තොට…”
ගණිතසාර ගුරුන්නාන්සේ ඇස් විවර කර රජු ඇඟිල්ල දික් කළ තැන බැලූවේය. උවමනාවෙන් සහ වඩාත් සැලකිල්ලෙන් බැලූවේය. ඇත්තටම එහෙම දෙයක් එතැන තිබුණේ නැත. එහෙත් රජු දකින දෙයක් තමා ඇත්තටම නොදුටුවත් එසේ නොදකින බව කීම රජුගේ කෝපයට හේතුවන බව ගණිතසාර ගුරුන්නාන්සේ දැන සිටියේය. ඒ නිසා එයට දිය යුතු වඩාත් තර්කානුකූල උත්තරය ඔහු මෙසේ පැහැදිලි කළේය.
”අවසරයි දෙයි හාමුදුරුවනේ . . . . බාග වෙලාවට ඒක හුඹස් මැටි වර්ණ ගන්නන කොට දිය නොවිච්චි වර්ණ කැටිත්තක් වෙන්ඩ ඕනෑ…”
එහෙත් වඩාත් තීරණාත්මක වචන කීපය ඇසුනේ ඉන් පසුවය. මෙතෙක් වේලා නිහඬව සිටි ලෙව්කේ රාළ රජුගේ දෙපා නැමැද අවසර ගෙන මෙසේ කීවේ දෙඅත් හිස මුදුනේ තියාගත් වනමය.

”මං මගේ නේත්තරා දෙකෙන්ම දැක්ක දේවයන් වහන්ස, දස්කොන් මහ අධිකාරම්තුමා ඊයේ හවස ඔය උපන් ලපය ඔතන සලකුණු කරනවා.”
මෙහිදී ප්‍රකට ජනප්‍රවාදය තුළින් නව අරුතක් නිපදවීමට කතුවරයා සමත් වෙයි. රාජ්‍යය හා බලය සම්බන්ධ කාරණයේදී ඉතිහාසයේ සිට වර්තමානය දක්වාම සත්‍යය, අසත්‍යය, යුක්තිය අයුක්තිය තීරණය වන්නේ බලයේ අත්තනෝමතිකත්වයත්, බල ලෝභයත් පුද්ගල සන්තානය තුළ නිදන්ගතව තිබීමට අනුලෝමව නොවේද?

ඉතිහාස නවකතාකරුවා විසින් සැලකිය යුතු මීළඟ කරුණ නම් තම අනුභූතිය සපයා ගන්නේ මහේක්‍ෂ ඉතිහාසයෙන්ද, ක්‍ෂුද්‍ර ඉතිහාසයෙන්ද යන කාරණයයි. එහිදී මහේක්‍ෂ ඉතිහාසයෙන් උපුටාගන්නා ලද චරිත හා සිද්ධීන් යොදා ගන්නා ප්‍රබන්ධකරුවන් මගින් බොහෝ විට සිදුවන්නේ සැබෑ ප්‍රබන්ධමය ලක්ෂණවලින් තොර කතන්දර ලිවීමට ගොස් ඉතිහාසය නමැති දෘෂ්ටිවාදී මළපුඩුවේ ගෙල සිර කරගැනීමයි.

මොහාන් රාජ්ගේ ප්‍රබන්ධවල සුවිශේෂත්වය වන්නේ ඔහු තමාගේ අනුභූතිය මහේක්‍ෂ ඉතිහාසයෙන් ලබා ගත්තද, ක්‍ෂුද්‍ර ඉතිහාසයෙන් ගත්තද ඒවා පසුබිමෙහි තබා තමන්ට අවශ්‍ය ප්‍රබන්ධය පරිකල්පනය කිරීමයි. මෙහිදී එක් අර්ථයකින් ‘වික්ටෝරියා’ නවකතාව ක්‍ෂුද්‍ර ඉතිහාසමය සිද්ධියක් පදනම් කරගනී. එනම් යටත්විජිත සමයේ වූ අරක්කු රේන්ද කර්මාන්තයයි. අධිරාජ්‍යවාදී සමයේ හඳුන්වා දුන් අරක්කු නිෂ්පාදන කර්මාන්තයේ කතාව අන්දිරිස් නම් චරිතය හරහා ලාංකීය සමාජය තුළ නව සමාජ රටාවක් (පසුගාමී ධනේශ්වරයේ වර්ධනය) මත අතිපිහිත වීම දක්වා ආ ගමන පෙන්වයි. එය එක්විටම සැබෑ ඉතිහාසය මෙන්ම කල්පිත ප්‍රබන්ධයක් ද වෙයි.

අන්දිරිස් උඩරට සෙංකඩගල, අලූත්ගංතොට සිට පහත රටට සංක‍්‍රමණය වන්නේ ‘නිකමෙකු’ ලෙසය. පසුව ක‍්‍රමයෙන් අන්දිරිස්, අන්දිරිස් රේන්දරාළ හරහා ‘අන්ද්‍රෙස්’ නම් මහා ධනකුවේරයෙකු දක්වා රූපාන්තරය වෙයි. මහාචාර්ය කුමාරි ජයවර්ධන පර්යේෂණාත්මක කෘතිය මගින් මෙම ධනේශ්වර පන්තියේ නැගීම පෙන්වා දෙන අතර ‘වික්ටෝරියා’ ප‍්‍රබන්ධය ක්‍ෂුද්‍ර ඉතිහාස සංසිද්ධියක් හරහා ලාංකීය ධනේශ්වරයේ නැගීම, විමර්ශනයට ලක් කරන බව පෙනේ. එම ගමන සඳහා සියලූ ශුද්ධ වූ මිනිස් සබඳතා සුන්නද්ධූලි කිරීමට අන්දිරිස්ට සිදු වෙයි. මිනිස් ඝාතන, අතුරුදන් කිරීම්, පහරදීම් ආදිය පමණක් නොව හෘදයාංගම විය යුතු ලිංගික සබඳතා පවා ද්‍රව්‍යමය සබඳතා බවට පිරිහෙලීම ප්‍රාග්ධනයේ උපත සඳහා අත්‍යවශ්‍ය බව පැහැදිලි වෙයි.

ප්‍රාථමික විශ්වාස, අභිචාර විධීන්, මිථ්‍යා සංකල්ප ආදිය පිරුණු එවක සමාජයේ තත්වාකාරය තුළ අන්දිරිස්ද සිය ගැටලූ විසඳාගැනීම සඳහා ඒවායේ පිහිට පතන අයුරු මතුපිටින් පෙනී යයි. එහෙත් තවත් තලයකදී අන්දිරිස් තම රිදුම් දෙන හෘදය සාක්‍ෂිය පිළිබඳ කැකෑරෙන ව්‍යාකූලත්වය හා ස්වකීය අවිඥානය තුළ සැඟවී ගත් අතීතය පිළිබඳ මතකය සමඟ යෙදෙන අනවරත අරගලය රූපකාර්ථවත් කිරීමට කතුවරයා සමත්වෙයි.

නවකතාව යන සාහිත්‍යාංගයේ උප ශානරයක් වන ඓ තිහාසික නවකතාව එහි වචනාර්ථයෙන්ම පරස්පර විරෝධී ස්වභාවයක් පෙන්වයි. නවකතාවෙන් අදහස් වන්නේ පරිකල්පිත ප‍්‍රබන්ධයකි. ඉතිහාසය කරුණු මත පදනම් වන බව අපි දනිමු. එසේ නම් ඓ තිහාසික නවකතාව නරක ඉතිහාසයක මෙන්ම නරක ප‍්‍රබන්ධයක එකතුවකි. මන්දයත් එය ප‍්‍රබන්ධයෙන් ඈත්වන බැවින්ද කරුණුවලින් බැහැරවෙන හෙයින් ද වේ. එහෙයින් පරිපූර්ණ ඓ තිහාසික නවකතාවක් බිහිවිය නොහැකි බව මගේ හැඟීමයි. මෙයින් පෙනී යන්නේ සාර්ථක ඓ තිහාසික නවකතාවක් ලිවීමට ඉතිහාසය හා ප්‍රබන්ධය යන්න මනා ලෙස තේරුම්ගත යුතු බවත්, එය මනා ලෙස ප්‍රයෝජනයට ගත යුතු බවත්ය. නිශ්චිත කාල අවකාශ රාමුවක රැඳවිය යුතු ඓ තිහාසික නවකතාව, ඒ මත සමාජ, දේශපාලනික හා සංස්කෘතික පසුබිම ගොඩනැංවිය යුතුය. එමගින් යම් නිශ්චිත කාල අවකාශයක ජීවත් වූ මිනිසුන්ගේ ජීවන සමස්තය මතු කරගත යුතුය.

වික්ටෝරියා නවකතාව අවසාන වන්නේ නව උපතක් පිළිබඳ සනිටුහන් වීමෙනි. ඒ උපත ලාංකීය පසුගාමී වැඩවසම් අගතීන්ගෙන් පිරුණු ජානමය උරුමයන් රැගත් අධිරාජ්‍යවාදයෙන් ලැබුණු නූතනවාදී ප‍්‍රවේශයක සළුපිළි සහිත හයිබ්‍රිඞ් ජාතිවාදයේ උපත සංකේතවත් කරයි.

නිමල් සෝමරත්න | රාවය

 

 

 

සිව් මංසල